දින සියයේ වැඩපිළිවෙළ අසාර්ථකයිද?

2015 ජනවාරි 09 වැනි දින ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දුන්නේය. ජනපති සිරිසේනගේ ඡන්ද ව්‍යාපාරය දිවෙන ලද්දේ කෙටිකාලීන සහන වැඩසටහන් සහ දිගුකාලීන ව්‍යුහමය වෙනස්කම් පිළිබඳ පොරොන්දු රැගත් දින 100 වැඩපිළිවෙළ පදනම්වය. මෙම පොරොන්දු ජනාධිපතිවරයා පත් වී දින 100ක් ඇතුළත ඉෂ්ට කෙරෙන්නට නියමිත විය. ඒ අතුරින් බොහෝ පොරොන්දු ඉටු වී ඇතත්, දින 730කට පසුවද තවමත් ප්‍රධාන පොරොන්දු කිහිපයක්ම ඉටු නොවී ඉතිරිව ඇත.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙහෙයවන පාර්ලිමේන්තු විමර්ශන වේදිකාවක් වන manthri.lk හි එක් අංගයක් වන මෛත්‍රී මීටරය’

http://www.manthri.lk/en/maithrimeter බලන්න) දින 100 වැඩපිළිවෙළෙහි ප්‍රගතිය ‘ලකුණු 100 බැගින් ලබාදීමේ ක්‍රමයක් යටතේ ඇගයීමට ලක් කොට ඇත. දින 100 තුළ ලකුණු 50කටත් වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා සිටියද ‘^තොරතුරු දැනගැනීමේ අයිතිය’ පිළිබඳ පනත වැනි බොහෝ පොරොන්දු මූලික වශයෙන් පූරණය කෙරෙමින් පැවතීම හේතුවෙන් දැන් එහි සමස්ත ලකුණු සංඛ්‍යාව 71 දක්වා ඉහළ නැග ඇත.

ඡන්ද ව්‍යාපාරය තුළ ප්‍රධානතම පොරොන්දුව වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම (19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අර්ධ වශයෙන් ආමන්ත්‍රණය කර ඇති) ඇතුළු ඇතැම් පොරොන්දු  ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ අවධානයට ලක් වෙමින් පවතී. එසේ වුවත්, ප්‍රධාන මූලික පොරොන්දු දෙකක් වන, ජාතික විගණන පනත හඳුන්වාදීම සහ පිළිගත් ආචාරධර්ම පද්ධතිය හඳුන්වා දීම පැහැදිලි ප්‍රමාදයක් පෙන්වා ඇත.

ජනාධිපති සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව, රාජ්‍ය ගිණුම් හා මූල්‍ය භාවිතාවේ ක්‍රමවේදය පිළිබඳ විවෘතභාවයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් ජාතික විගණන පනත හඳුන්වාදීමට නියමිතව තිබුණේ 2015 පෙබරවාරි මස 19 වැනිදාය.

ඊට අමතරව, එම පනත හඳුන්වා දීම ජාතික සන්ධාන රජයේ ප්‍රධාන පාර්ලිමේන්තු හවුල් පක්ෂ කණ්ඩායම් දෙකෙහිම (යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය) මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු අතර වූවකි. කෙසේ වෙතත්, මෙහි ප්‍රගතිය කැබිනට් මණ්ඩලය විසින් කෙටුම්පත අනුමත කරනු ලැබීම දක්වා පමණක් සීමා වී ඇත. ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නීතියෙන් බලාත්මක ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බවටද සඳහන්ව තිබිණි. දිගු ප්‍රමාදයකින් පසු, ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ආචාරධර්ම පද්ධතියෙහි’ අවසන් කෙටුම්පත, පාර්ලිමේන්තු අනුමැතිය සඳහා කථානායක කරු ජයසූරිය විසින් 2016 දෙසැම්බර් මස 10 වැනිදා සභාගත කෙරිණි. එසේ වුවත්, පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ කෙටුම්පත ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය සහතික කිරීම සීමා වී ඇත. මෙය මුලින්ම හඳුන්වාදීමට නියමිතව තිබුණේ 2015 පෙබරවාරි මස 02 වැනිදා ය.

මෙම අඩුපාඩුකම් මධ්‍යයේ වුවත්, (අ) තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත හඳුන්වාදීම (ආ) ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම (ඇ) ව්‍යවස්ථා සභා සහ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දීම වැනි ක්‍රියාකාරකම් හරහා සැලකිය යුතු ප්‍රගතියක් දින සියයේ වැඩපිළිවෙල හිමි කරගෙන ඇත. සාර්ථකත්වයන් අතරින් 2016 ජුනි මස 24 වැනිදා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමත්, තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම ස්ථාපනය කිරීමත් සුවිශේෂී ය. තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමේ අභිලාෂයෙන් ඉදිරිපත් වූ මෙම පනත විනිවිදභාවය හා වගකීම්සහගතභාවය ඉහළ නංවන ක්‍රියාදාමයකි.

සමස්තයක් වශයෙන් ගත් විට, දැන් බොහෝ කාලයක් ගත වී ඇති දින සියයේ වැඩපිළිවෙළ අවසානය වෙත ළඟා වීම සාධක දෙකක් මත රඳා පවතින බව පෙනේ. පළමුව, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම යන කරුණු ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය සමග දැඩිව බැඳී පවතී. දෙවනුව, ජනාධිපති සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ සඳහන්ව වසර දෙකක් තිස්සේ ක්‍රියාවට නංවන තෙක් පවතින, සරල නමුත් ඉහළ වැදගත්කමකින් යුතු %යහපාලන’ පොරොන්දු යටතේ ක්‍රියාවට නැංවිය හැකි; (ජාතික විගණන පනත හරහා) ජාතික විගණන කොමිසම සහ නීතිමය වශයෙන් බලාත්මක පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරධර්ම පද්ධතිය හරහා ප්‍රගතිය ළඟා කරගත හැකිව පවතී.

manthri.lk යනු පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය හා වැඩ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන පුරෝගාමී ත්‍රිභාෂා වෙබ් අඩවියකි. ශ‍්‍රී ලංකාවේ මෙලෙසින් ප්‍රකාශයට පත්වන පළමු අන්තර්ජාල තොරතුරු සේවාව  manthri.lk වන අතර, මෙමගින් පාර්ලිමේන්තුවේ විනිවිදභාවය සඳහා අනුබල දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාරාමුව වඩාත් ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට  කටයුතු කෙරේ.

ඔබගේ අදහස් හා යෝජනා පහත විද්‍යුත් ලිපිනය වෙත එවන්න –

publications@veriteresearch.org

Taken from – Ada.lk