“Who’s the thief?”: The latest drama in politics

වත්මන් ආණ්ඩුව බලයට පත් වී තෙවසරක් ගතව තිබේ. යහපාලනයක් ඇති කරන බවට ප්‍රතිඥා දෙමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුවේ මැතිවරණ ව්‍යාපාරය තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ අක්‍රමිකතා සඳහා ප්‍රධාන තැනක් හිමි විය.

එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේනගේ ධුර කාලයෙන් අඩක් හෝ ඊට වැඩි කාලයක් ගතව ගොස් ඇති අතර දූෂණ චෝදනා ලද පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ දැඩි ප්‍රමාදයක් පවතින බවට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට චෝදනා එල්ල වේ.

2015 ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ “දින සියයේ” ආණ්ඩුව එවක කියා සිටියේ අධිකරණයට බලපෑම් නොකර නීතියට අනුව යමින් දුෂිතයන්ට දඬුවම් ලබා දීමට කටයුතු කරන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන්, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ ඇතුළු වර්තමානයේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරන පසුගිය ආණ්ඩුවේ ප්‍රබලයන් ගණනාවකට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

මේ අතර දුෂිතයන්ට දඬුවම් ලබා දෙන බව සපථ කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවය වන අගමැති රනිල් වික්‍රමසිංහ මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට වගකිවයුතු බවට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම චෝදනා කරයි.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීති විරෝධී ලෙස මුදල් උපයාගෙන ඇති බව නිගමනය කර ඇත.

එමගින් රජයට සිදු වූ රුපියල් මිලියන 11,000 කට අධික අලාභය මෙන්ම ජනාධිපති කොමිසම වෙනුවෙන් රජයට වැය වූ මුදල ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් අයකරගත යුතුව ඇතැයි ද කොමිසම නිර්දේශ කර තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග එතෙක් මුදල් අමාත්‍යංශය භාරයේ තිබූ මහබැංකුව අගමැතිවරයා යටතට පත්කෙරිණ.

ඒ සමග එහි අධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ නිර්දේශය මත සිංගප්පූරු පුරවැසියෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් පත් කෙරුණු අතර ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 11,000 කට අධික අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ල වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් අලෝසියස්ය.

මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනු සිදු වූ සමයේ මහබැංකු අධිපති වශයෙන් කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන්ගේ ධුර කාලය දීර්ඝ කළ යුතු යයි අගමැතිවරයා එවක දැඩි ස්ථාවරයක පසුවිය.

කෙසේ නමුත් බැඳුම්කර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත උපදෙස් දී තිබේ.

මහින්ද පාලන සමයේ

එමෙන්ම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම්ගත රුපියල් ලක්ෂ 12,000 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව භාරයේ රඳවාගෙන තිබෙන බව බදාදා (ජනවාරි 10) පාර්ලිමේන්තුව අමතමින් අගමැතිවරයා පැවසීය.

නීතිපතිවරයා විසින් උසාවියට කරුණු වාර්තා කොට නඩු කටයුතු මෙහෙයවා රජයට සිදුව ඇති අලාභය නැවත අයකර ගැනීමට කටයුතු කිරීම දැන් කළ යුතුව ඇති බව කී අගමැතිවරයා “එමගින් රජයට අලාභයක් සිදුව ඇත්නම් එය පියවා ගැනීමටත් හැකියාව ලැබෙනවා” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර වසර 2008 – 2015 කාල සීමාව තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන හතරක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බව අගමැතිවරයා පසුගියදා පැවසීය.

අගමැතිවරයා නිදොස් නොව කොටු වී ඇතැයි වාසුදේව නානායක්කාර (පා.ම.) පවසයි

අගමැතිවරයා නිදොස් නොව කොටු වී ඇතැයි වාසුදේව නානායක්කාර (පා.ම.) පවසයි

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ සිය පාලන සමයේ සිදු කළ බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

බැඳුම්කර ගනුදෙනුව හා සම්බන්ධ ජනාධිපති කොමිසම් වාර්තාව සහ පැවති රාජපක්ෂ පාලන සමයේ සිදු වූ බව කියන මහාපරිමාණ දුෂණ සහ වංචා 34 ක් ගැන සැකසූ වාර්තා බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස පක්ෂ නායකයන් අඟහරුවාදා (ජනවාරි 09) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලු නමුත් එම වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර නොතිබිණි.

“කවුද හොරා?”

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අරමුණින් එදින විශේෂ පාර්ලිමේන්තු සැසියක් කැඳවන ලද අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින අතරතුරදීය.

එම ගුටිබැට හුවමාරුව අතරතුර දෙපාර්ශවයම එකිනකාට ‘හොරා’ යයි කියමින් චෝදනා කර ගන්නා ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ දැකගත හැකිය.

මේ අතර බදාදා අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ “පාර්ලිමේන්තුවේ දෙපැත්තේම අය හොරා කියාගෙන, කවුද හොරා?, කවුද හොරා ගත්තේ නැති අය? කියලා සොයා ගත නොහැකිව පාර්ලිමේන්තුවේ ගහගැනීමක් සිදුවුනා,” යනුවෙනි.

“පොකට්කාරයෝ අපේ අහිංසක මිනිස්සුන්ගේ පොකට් එකේ තිබෙන සල්ලි අර ගන්නවා. අරගෙන දුවනවා. එතකොට පොකට් එකේ අයිතිකාරයා හොරා හොරා කියමින් පික්පොකට් කාරයා පස්සේ දුවනවා. පොකට් කාරයා මොකද කරන්නේ? අන්න හොරෙක් අන්න හොරෙක් කියලා මිනිහත් දුවනවා,” ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පාර්ලිමේන්තු ගුටිබැට හුවමාරුව ගැන සමාජ ජාල තුළ පළ වූ අදහස්:

සිය නිල ධුර කාලය අවසන් වන නිශ්චිත කාල සීමාව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරණු විමසන්නේ මෙවැනි වාතාවරණයක් තුළදීය.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් වසර හයක්ව තිබු ජනාධිපති ධුර කාලය වසර පහ දක්වා අඩු කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් 2015 වසරේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ “අවුරුදු පහෙන් ගෙදර යාම සිය ප්‍රතිපත්තිය” බවය.

කෙසේ නමුත් ජනාධිපතිවරයාට වසර හයක කාලයක් පදවියේ කටයුතු කළ හැකිය යන්න නීතිපතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

මේ අතර “වෙනස සැපද?” යන්න වත්මන් පාලනය විවේචනය කරන පුද්ගලයන් විසින් සමාජ ජාල තුළ මතු කරන ජනප්‍රිය ප්‍රශ්නයකි.

“වෙනස සැපද?”

2015 අගෝස්තු මහමැතිවරණයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශය නම් කර තිබුණේ “මාස හැටෙන් අලුත් රටක්” යන නමිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය “අනාගතයට සහතිකයක්” නමින් සිය මැතිවරණ ප්‍රකාශය නිකුත් කළේය.

‘යහපාලන’ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන සන්ධාන දෙකම මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවලින් 75% ක්ම තවමත් ඉටු කොට නොමැති බව හෝ එම ප්‍රතිඥා ඉටුකිරීම සම්බන්ධයෙන් ලබා තිබෙන්නේ ඉතා අඩු ප්‍රගතියක් බව වෙරිටේ පර්යේෂණ ආයතනයට අනුබද්ධ manthri.lk වෙබ් අඩවිය 2017 වසරේ අගභාගයේ නිකුත් කළ වාර්තාවක දැක්විණි.

කෙසේ වුවත් විශේෂයෙන්ම රට තුළ භාෂණයේ නිදහස් සම්බන්ධයෙන් ප්‍රබල ප්‍රගතියක් දක්නට ලැබෙන බව ජාතික මානව හිම්කම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩගම පසුගියදා බීබීසී සිංහල සේවය සමග කියා සිටියාය.

එමෙන්ම තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීම, නව ව්‍යවස්ථාවකට පදනම් සකස් කිරීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය ඇතුළු විවිධ අංශවල වත්මන් ආණ්ඩුව ප්‍රගතියක් ලබා තිබෙන බව ආණ්ඩුවේ ආධාරකරුවෝ පෙන්වා දෙති.

සබැඳි යොමු:

Taken from BBC Sinhala