අයවැය පොරොන්දුවලින් නොකෙරෙන ප්‍රමාණය වැඩියි – Verité Research

අයවැය පොරොන්දු ක්‍රියාත්මක වීමේ දී රජය පොරොන්දු වූ ආකාරයට ජනතා මුදල් වියදම් කර ඇතිදැයි සොයා බැලීමේ ක්‍රමවේදයක් වර්තමානයේ නැති බවත්, මේ නිසා සෑම වසරකම පාහේ රජයන් අයවැය කතාව කරන විට ජනතාවට දෙන සුන්දර පොරොන්දුවලින් බොහොමයක් ඉටු නොකරන පරිසරයක් අද වන විට නිර්මාණය වී ඇති බවත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ ආයතනයක් වන Verité Research පවසයි.

2017 වසර වෙනුවෙන් රජය දුන් අයවැය පොරොන්දු ඉටු කිරීමේ ප්‍රගතිය ඇගයීමට ලක් කරන “අයවැය පොරොන්දු – මැති සබයෙන් ඔබ්බට“ ප්‍රගති වාර්තාවේ දෙවන අදියර දියත් කරමින් Verité Research ආයතනය මේ බව අනාවරණය කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් Verité Research හි පර්යේෂණ අධ්‍යක්ෂ, සුභාෂිණී අබේසිංහ කියා සිටියේ අයවැය පොරොන්දුවලින් නොකෙරෙන ප්‍රමාණය වැඩිබවයි. සම්පූර්ණ කරන ලද පොරොන්දු, සැලකිය යුතු තරමකට ක්‍රියාත්මක කරන ලද පොරොන්දු, අර්ධ වශයෙන් ක්‍රියාත්මක කරන ලද පොරොන්දු, ඉතාමත් දුර්වල ප්‍රගතියක් පෙන්නුම් කරන පොරොන්දු, අතහැර දමන ලද පොරොන්දු හා තොරතුරු සොයා ගත නොහැකි පොරොන්දු යනුවෙන් කාණ්ඩ 6 ක් යටතේ අයවැය පොරොන්දුවල ප්‍රගතිය වර්ග කර ඇති බව ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියාය.

“සැලකිය යුතු ප්‍රගතියක් පෙන්වා තිබෙන පොරොන්දු ප්‍රමාණය 54% ක්. 46% ක් වූ නොකෙරෙන පොරොන්දු සඳහා මුළු අයවැයෙන් 56% ක අරමුදල් වෙන් කරලා“, යනුවෙන් Verité Research පර්යේෂණ අධ්‍යක්ෂ, සුභාෂිණී අබේසිංහ වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධ සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.

Taken from kolomthota.com