ඉන්දියා ශ්‍රී ලංකා ධීවර ගැටලුවට කල් පවතින විසඳුමක්

ගෙහාන් ගුණතිලක සහ සුපුන් ජයවර්ධන

2018 වසර සඳහා තමිල්නාඩු මුහුදු තීරයේ මසුන් ඇල්ලීමට පනවා තිබූ තහනම අවසන්ව ගෙවී ගොස් ඇත්තේ සුළු කාලයකි. මෙම තහනම පැනවීමෙන්  බලාපොරොත්තු වන්නේ වසර පුරාම සිදු කරන මසුන් ඇල්ලීම නිසා විනාශ වන මුහුදු ශාකවලට සහ සතුන්ට නිදහසේ වැඩෙන්නට කුඩා හෝ ඉඩකඩක් ලබා දීමයි. සාමාන්‍යයෙන් වසරකට දින 45ක් සඳහා මෙම තහනම ක්‍රියාත්මක වූවද මේ වසරේ දී එය දින 61ක් දක්වා දීර්ඝ කිරීමට තමිල්නාඩු පරිපාලනය තීරණය කර තිබුණි. ඒ 2018 වසර අප්‍රේල් 15 වන  දින ආරම්භ වී ජූලි මස 15 වන දිනයෙන් අවසන් වන ල‍ෙසයි.

මෙම කාල සීමාව තුළ තහනමට ලක්වන මසුන් ඇල්ලීමේ ක්‍ර‍ම අතර යාන්ත්‍රික ක්‍ර‍ම මඟින් මුහුදු පත්ල  පීරා අදිමින්  මසුන් ඇල්ලීම හෙවත් “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍රමය”ද දක්නට ලැබෙන්නකි. මසුන් ඇල්ලීමට භාවිත කරන ඉතා විනාශකාරී ක්‍රමයක් ලෙස කලක පටන්ම පිළිගෙන ඇති “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍රමය” වර්තමාන ශ්‍රී ලංකා ඉන්දීය ධීවර ගැටලුවේ අත්තිවාරම ලෙස පෙන්වා දුන්නද වරදක් නොවේ. ඉහත ගැටලුව ගැඹුරින් සලකා බලන මෙම ලිපිය, බොටම් ට්‍රොව්ලින්ග් ක්‍රමය තහනම් කිරීමට:

  1. ද‍ෙරට‍ෙම ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් පියවර ගනු ලැබුවේ ඇයි ද යන්නත්,
  2. මෙම තහනම තව දුරටත් පවත්වාගෙන යාමට කටයුතු කළ යුත්තේ ඇයි ද යන්නත්, විමසා බලයි.
  • පිලිසකර කර නොහැකි පරිසර හානියක්

“බොටම් ට්‍රොව්ලින්ග් ක්‍රමය” භාවිත කිරීමේ දී සිදුවන්නේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් බරින් වැඩි මාලු දැල් මුහුදු පත්ල දිගේ ඇදගෙන යෑමයි. එය විනාශකාරී මෙන් ම තිරසාර නොවූ ක්‍ර‍මයකි. ලෝක වන සත්ව අරමුදලට අනුව බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය නිසා සාගර ජෛව පද්ධතීන් නැවත සකස් විය නොහැකි තරමටම විනාශ වීමට වුවද පුලුවන. සරලව විස්තර කරන්නේ නම් වඳවී යාමේ අවදානමට ලක්ව ඇති මුහුදු ජීවීන් සහ කොරල් පරවලින් සමන්විත ප්‍රදේ‍ශයක් හරහා බර‍ෙන් වැඩි මත්ස්‍ය දැල් ඇදග‍ෙන ගිය විට මිනිත්තු කිහිපයකින් එම පරිසර පද්ධතිය සහමුලින්ම විනාශ වී යයි.

තව ද බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය තුළ දැලට හසුවන ජීවීන් තෝරා ගැනීමක් සිදු නොවන නිසා එම ක්‍ර‍මය භාවිත කරන ධීවරයන්ට මුහුදු ක්ෂීරපායින්, කැස්බැවුන්, පක්ෂීන් ඇතුළු මිනිසුන්ට කිසිඳු ප්‍රයෝජනයක් නොමැති මත්ස්‍ය වර්ග හසු වීම  බහුලව දක්නට ලැබ‍ෙන්නකි. වාර්තාවන් ප‍ෙන්වා ද‍ෙන්නේ ශ්‍රී ලංකාව තුල “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය” භාවිත කරමින් අල්ලාගන්නා මසුන්ග‍ෙන් සියයට 90ක් ම මෙසේ ප්‍රයෝජනයක් නොග‍ෙන ඉවත දමන බවයි. ඉහත හේතුව‍ නිසාම වසර 2015 දී චිලී රාජ්‍යය ලොව පළමු රට ලෙස තම මුහුදු සීමාව තුළ “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය” භාවිත කිරීම සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී.  මීට අමතරව “ ඉන්දුනිසියාව, බෙලීස්, නවසීලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය” යන රටවල් ද මත්ස්‍ය දැල් භාවිතය සම්බන්ද විවිධ සීමාවන් මේ වන විටත් පනවා තිබේ. මීට සමාන්තරව තමිල්නාඩුව සහ කේරලය යන ඉන්දීය ප්‍රාන්ත රාජ්‍යයන් යාන්ත්‍රික මසුන් ඇල්ලීමේ ක්‍ර‍ම නිසා සිදුවන පාරිසරික හානිය අවම කරලීමේ අරමුණින්  වාර්ෂික තහනම් කාල සීමාවන් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලාංකීය ප්‍ර‍තිපත්ති සම්පාදකයන් පොර්ක් සමුද්‍ර‍ සන්ධිය ඇතුළු තම මුහුදු ප්‍රදේශය තුළ බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය භාවිත කිරීම තහනම් කිරීමේ ක්‍රියාමාර්ඝ ව‍ෙත එළඹ‍ෙනුයේ මෙවන් වටපිටාවක් තුළ ය.

2017 අංක 11 දරන ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණ සංශෝධන පනත හරහා අදාල තහනම ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීමට රජය විසින් පියවර ගත් අතර ඒ සමඟින් “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍රමය” සම්පූර්ණයෙන්ම තහනම් කළ ආසියාවේ ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් විය. එය අප රට ලැබූ ඓතිහාසික ජයග්‍ර‍හණයකි.

  • මුහුදු සීමා උල්ලංඝනයෙන් ඔබ්බට ගිය ගැටලුවක්

ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රී ලාංකීය මුහුදු සීමාවට ඇතුළු වීම පිළිබඳ කොතෙකුත් ලිපි ලේඛන ලියැවී තිබුන ද නිතර ම පාහේ එම ගැටලුව හඳුනා ගැනුනේ මුහුදු සීමාව ඉක්මවීම ආශ්‍රිත අර්බුදයක් වශයෙන් පමණි. ඉන්දීය ධීවර යාත්‍රා දහස් ගනනක් මෙරට වෙරළ සීමාවට සති පතා ඇතුළු වීමත් එතුළින් ශ්‍රී ලාංකික ධීවරයන්ගේ ජීවනෝපායට තර්ජන එල්ල වන බවට දිගින් දිගට ම චෝදනා නැඟීමත් පසුගිය කාලය පුරා ම දක්නට ලැබුණි. ඇතැම් අවස්තාවල මෙම ගැටලුව ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වීම තරම් දුර දිග ගිය අතර  ඉන් පසුව ඔවුන් ව නිදහස් ක‍ෙරුනේ තානාපති ක්‍රියාමාර්ග හරහාය.

ඉහත සෑම අවස්තාවක ම ඉන්දීය බෝට්ටු හිමියන් කියා සිටියේ තමන්ට ශ්‍රී ලංකා මුහුදේ මසුන් ඇල්ලීමට චාරිත්‍රානුකූල අයිතියක් ඇති බවයි. ම‍ෙසේ ඔවුන් කල්පනා කිරීමට හේතු ද‍ෙකක් විය. ඒවා නම්:

  1. දශක ගණනාවක් ඔවුන් විසින් ම‍ෙරට මුහුදේ මසුන් අල්ලා තිබීම සහ
  2. රටවල් දෙකේ ධීවර ජනතාව අතර කාලයක් තිස්සේ පවතින අන්‍යෝන්‍ය සුහදතාවයයි.

නමුත් අද වන විට මෙරට මුහුදු සීමාවට පැමිණෙන බොහෝ ඉන්දීය ධීවරයන් යාන්ත්‍රික ක්‍ර‍මවේද  භාවිත කරන්නන් වීම නිසා ම‍ෙම චාරිත්‍රානුකූල අයිතිය ඔවුන්ට අදාළ වන්නේ නැත.

වසර 2017 දී ධීවර සහ ජලජ සම්පත් සංරක්ෂණ  පනත  සංශෝධනය වීමට ප‍ෙර බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය භාවිත කරමින් ධීවර කර්මාන්තයේ නියැලෙන ශ්‍රී ලාංකේය යාත්‍රා ගණන ක්‍ර‍මයෙන් වැඩි වනු දක්නට ලැබිණි. මෙරට තුළ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පිළිග‍ැනීම හිමිව තිබීම මීට ප්‍ර‍ධාන හේතුව විය. බලපත්‍ර‍ ලබා දීම කලාතුරකින් සිදුවුවද 1996 ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණ පනත යටතේ පනවා තිබූ රෙගුලාසි මගින් ස්‍රී ලංකාව තුළ “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය” භාවිතයෙන් මත්ස්‍ය කර්මාන්තයේ යෙදීම පැහැදිලිව ම පිළිගෙන තිබුණි. ඒ අනුව ඉහත කී සංශෝධන පනත හරහා යම් හ‍ෙයකින් ඉන්දීය ධීවරයන්ට අප මුහුදු තීරය තහනම් කිරීමක් පමණක් සිදු වී නම් ඉන් ඇති විය හැකිව තිබූ එකම ප්‍ර‍තිඵලය වන්නේ බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය භාවිත කරන ‍ශ්‍රී ලාංකීය ධීවරයන්ට මත්ස්‍ය අස්වැන්න රිසි පරිදි නෙලා ගැනීමට අවස්තාව හිමි වීමයි. කෙටියෙන් කියහොත් මෙතෙක් ඉන්දීය ධීවර බෝට්ටු විසින් සාගර පරිසරයට සිදු කර ගෙන ගිය හානිය නොකඩවා පවත්වාගෙන යාමට ශ්‍රී ලාංකික ධීවර බෝට්ටුවලට ඉඩ ලබා දීමයි. ඒ අනුව මෑතක දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද  2017 අංක 11 දරන ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනත පෙන්වා  දිය හැක්කේ ඉන්දීය සහ ශ්‍රී ලාංකික ධීවරයන් සියලු ද‍ෙනා ම විනාශකාරී බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය භාවිතයෙන් ඉවත් කිරීමට හේතු වූ සුවිශේෂී නීතිමය ලියවිල්ලක් වශය‍ෙනි.

  • මගේ හෝ ඔබේ නොව අපේ

බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය හා බැඳුණු ගැටලුව දේශසීමා අර්බුදයකින් ඔබ්බට යන්නක් බව ඉතා පැහැදිලිය. මෙහි දී “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය” භාවිතා  කරන්නේ කවුද යන්න සෙවීම වෙනුවට ඇත්තට ම ඒ නිසා සිදුවන්නේ කුමක් ද යන්න සොයා බැලීම වටී. යාන්ත්‍රික ක්‍ර‍ම මගින් මත්ස්‍ය දැල් මුහුදු පත්ලේ  ඇදගෙන යාම හෙවත් “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය” කවුරුන් විසින් සිදු කළද එතුළින් විනාශ වන්නේ සමස්ත ලෝකයට අයත් මුහුදු සම්පතයි. මිනිසුන් මෙන් පරිසරයට ජාත්‍යන්තර දේශසීමා අදාල වන්නේ නැත. ඒ නිසාම යම් දේශ සීමාවක එක් පැත්තක සිදු කරන සාගර විනාශය ඉබේම අනෙකුත් සියලූම ප්‍රදේ‍ශ වලට ගලා යන අතර අවසානයේ සිදුවන්නේ සමස්ත කලාපයේ ම ඇති සම්පත් ක්ෂය වී යාමයි. ඒ අනුව “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය” ක්‍ර‍මානුකූලව පොක් සමුද්‍ර‍ සන්ධිය ආශ්‍රීත කලාපය සාගර සම්පත්වලින් හිඟ කලාපයක් බවට පත් කරමින් සිටි බව පෙනී යන්නකි.

  • ජයග්රහණයක් සමඟින් අලුත් අභියෝගයක්

ශ්‍රී ලංකාවේ ප්‍ර‍තිපත්ති සම්පාදකයන් මේ බව මනාව තේරුම් ගනිමින් මෙරට මුහුදු තීරය‍ තුළ “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය” මුළුමනින් තහනම් කිරීමට පසුගිය දා පියවර ගන්නා ලදී. දැන් අප සියලු දෙනා මුහුණ  දී සිටින අභියෝගය වන්නේ එම තහනම දිගටම පවත්වා ගෙන යාමයි. තහනම බලාත්මක කර මාස හයක් ගෙවී යන්නටත් පෙර අඩු විනාශකාරී අදින දැල් භාවිතයට ඉඩ ලැබෙන පරිදි නීති ලිහිල් කර යුතු බවට ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව තුළින් ම යෝජනා විය. මේ තත්ත්වය අපට කියා පාන්නේ “බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය” නැවත හිස එසවීමේ අවදානම තවමත් මුළුමනින් ම පහව ගොස් නැති බවයි.

කවර තත්ත්වයක් යටතේ වුවද ම‍ෙම නීති ලිහිල් නොකිරීමට ආසන්නතම හේතූන් තුනක් ම‍ෙහි දී සාකච්චා කිරීම වැදගත් ය. යම් හ‍ෙයකින් අප නීති ලිහිල් කළහොත් ඇති විය හැකි පළමු ප්‍ර‍තිඵලය වන්නේ ශ්‍රී ලංකාව බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය තහනම් කළ ආසියාවේ ප්‍ර‍ථම රට බවට ලබා ගත් ගෞරවය  අහිමි වීමයි.  මේ හරහා ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන සඳහා පරිසර හිතකාමී නිෂ්පාදන තත්ත්ව සහතික ලබා ගැනීමේ ගැටලුවක් වුවද නිර්මාණය විය හැකි ය. එවැනි  එක් සහතිකයක්  ල‍ෙස සාගර හිතකර ල‍ෙස මත්ස්‍ය සම්පත න‍ෙලාගැනීමේ සහතිකය හ‍ෙවත් ‘ෆ්‍ර‍ෙන්ඩ් ඔෆ් ද සී ෆිෂරීස්’(FOS) සහතිකය වැදගත් වේ. එම සහතිකය ලබා දීමේ දී:

  1. මසුන් ඇල්ලීමේ ක්‍රියාවලිය නිසා මුහුදු පත්ලට හානි වන්නේ ද,
  2. මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගත නොහැකි මසුන් දැල් තුළට හසුවීම අවම වෂය‍ෙන් සියයට 8ක් දක්වා වත් පාලනය කිරීමට ක්‍රියාමාර්ග ග‍ෙන තිබේ ද? සහ
  3. අන්තර්ජාතික රතු දත්ථ පොතට ඇතුළත් වඳ වී යන මසුන් දැල් තුළට හසුවීම පාලනය කර තිබේ ද?

යන්න සලකා බලයි. තව ද සාගර හිතකර ල‍ෙස මසුන් වගා කිරීමේ සහතිකය හ‍ෙවත් ‘ෆ්‍ර‍ෙන්ඩ් ඔෆ් ද සී  ඇක්ව කල්චර්’(FOS aqua culture) සහතිකය ලබා දීමේ දී සලකා බලන නිර්ණායකයක් වන්නේ මුහුදු තෘණ භූමි වලට හානිවන කටයුතු සිදු නොකිරීමයි.  ඒ  අනුව අප බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය ඇතුලු තහනම් දැල් වර්ග භාවිතා කර මසුන් ඇල්ලීමට ඉඩ ලබා දුන හොත් ස්‍රී ලංකාවේ මත්ස්‍ය  නිෂ්පාදනවලට ඉහත සහතික ලබා ගැනීමට ගැටලු මතු විය හැකි ය.

ද‍ෙවනුව, බොටම් ට්‍රොව්ලින්ග් ක්‍ර‍මය භාවිතා කර මසුන් ඇල්ලීම හරහා දේශිය නීතිය සහ ජාත්‍යන්තර සම්මුතිමය එකඟතාවන් උල්ලංඝනය වීමක් ද සිදු වේ. යාන්ත්‍රික ක්‍ර‍ම මගින් මත්ස්‍ය දැල් මුහුදු පත්ලේ  ඇදගෙන යාම හරහා මුහුදු කැස්බෑවුන් සහ ඩියුගොන් හෝ මුහුදු ඌරන් වැනි සතුන් සහ ඔවුන්ගේ ආරක්‍ෂිත වාසස්ථාන විනාශ වන අතර ම‍ෙම ජීවීන් සැලක‍ෙන්නේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත යටතේ සංරක්ෂිත සත්ව විශේෂ වශයෙනි. තව ද ඉහත තත්ත්වය හරහා රම්සාර් තෙත්බිම් සම්මුතිය, සංක්‍රමණික විශේෂ පිළිබද සම්මුතිය සහ සමුද්‍ර නිතිය පිළිබද එක්සත් ජාතීන්ගේ සම්මුතිය  හරහා  ශ්‍රී ලංකාව පැමිණ ඇති ජාත්‍යන්තර එකඟතාවන් උල්ලංඝනය වේ.

මත්ස්‍ය දැල් භාවිතයට අදාල නීති ලිහිල් කිරීම හරහා ඇති විය හැකි මීළඟ ගැටලුව වන්නේ තම මුහුදු තීරය‍ෙහි මසුන් ඇල්ලීමට ඉන්දීය දීවරයන්ට තහනම් කිරීමට ස්‍රී ලංකාවට පවතින සදාචාරාත්මක බලය අඩු වී යාමයි. ම‍ෙම හේතූන් ත්‍රිත්වය නිසා ම කර යුතු වන්නේ බොටම් ට්රෝලින් ක්‍ර‍මයට එර‍ෙහිව අප විසින් ගනු ලැබූ පියවර කුමන තත්ත්වයක් යටතේ වුව ද ආපස්සට නොගැනීමයි. එවිට ම‍ෙම මුහුදු කලාපය තවත් බොහෝ කාලයක් මුහුදු ජීවීන්ට වාසස්තානය සපයනු ඇත.

මෙම ලිපියෙහි සමකතුවරුන් වන නීතීඥ ගෙහාන් ගුණතිලක වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් නීතීඥ සුපුන් ජයවර්ධන එම ආයතනයේ ම සහකාර නීති විශ්ලේෂකවරයෙකු ලෙසත් කටයුතු කරයි. තව ද ලිප‍ිය‍ෙහි  ගුණදොස් විචාරීම තුළින් මහත් සේ සහය වූ වෙරිටේ රිසර්ච් ආයතනයේ නීති අධ්‍යයන අංශයේ උප අංශ ප්‍ර‍ධානී  නීතීඥ මල්සිරිනි ද සිල්වා ව‍ෙත විශේෂ ස්තුතිය හිමිවේ. වෙරිටේ රිසර්ච් ආයතනය ආසියාතික  කලාපය වෙනුවෙන් ආර්ථික විද්‍යාව,  නීතිය, දේශපාලනය, ජනමාධ්‍ය සහ පාරිසරික හා දේශගුණික විපර්යාස යන ක්ෂේත්‍ර සම්බන්ධ උපායමාර්ගික විශ්ලේෂණ සපයන බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන  පෞද්ගලික ආයතනයක් වේ.

වැඩිදුර අදහස් දැනගැනීමට: publications@veriteresearch.org යන ඊමේල් ලිපිනය හරහා විමසීම් කරන්න.