එන්නත්කරණ සමානාත්මතාවය කෙරෙහි වාර්ගික විවිධත්වයේ බලපෑම: 2022 මාර්තු

එන්නත් වෙත ඇති ප්‍රවේශය මෙන්ම එන්නත් කෙරෙහි ඇති විශ්වාසය සැලකීමේදී ලෝකයේ විවිධ ජන වර්ග අතර එම කරුණු සම්බන්ධයෙන් අසමානතා දක්නට ලැබෙන අතර, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මෙම අසමානතා වඩාත් ඉස්මතු වී තිබේ. මෙම පසුබිම තුළ, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 එන්නත කෙරෙහි පවතින විශ්වාසය, එන්නත ලබා ගැනීම සහ එන්නත වෙත ඇති ප්‍රවේශය යන කරුණු මත වාර්ගිකත්වය බලපාන අයුරු පෙන්වා දෙන, කොටස් දෙකකින් සමන්විත අධ්‍යයනයක් වෙරිටේ මීඩියා විසින් සිදු කරන ලදි. ජාත්‍යන්තර සුළුතර අයිතිවාසිකම් සමූහය (Minority Rights Group International) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දමිළ සහ මුස්ලිම් ප්‍රජාවන් පදනම් කර ගනිමින්, එන්නත්කරණ සමානාත්මතාවය කෙරෙහි වාර්ගික විවිධත්වයේ බලපෑම පිළිබඳ වැඩසටහන 2021-2022 [Diversity Impact on Vaccine Equity (DIVE) programme 2021 – 2022] ට සමගාමීව මෙම අධ්‍යයනය සිදු කරනු ලැබිණි. මෙම වාර්තාව, එම දෙකොටසකින් යුතු අධ්‍යයනයේ දෙවැනි හා අවසාන කොටස වේ.

කොවිඩ්-19 එන්නත්කරණය හා සබැඳි මෙම අධ්‍යයනය වෙනුවෙන් වෙරිටේ මීඩියා විසින් පළ කරන ලද පළමු වාර්තාව මගින්, 2021 ජනවාරි 1 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත කෙරෙහි පැවති විශ්වාසය, එන්නත ලබා ගැනීම සහ ඊට ඇති ප්‍රවේශය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ සංවාද විශ්ලේෂණය කරන්නට යෙදිණි.  මෙම සොයා ගැනීම්, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ සමානාත්මතාවය කෙරෙහි වාර්ගික විවිධත්වයේ බලපෑම: 2021 නොවැම්බර්” නැමැති එකී පළමු වාර්තාවෙහි පළ කරන ලදි. සමාජ මාධ්‍ය තුළ දක්නට තිබූ සංවාද විශ්ලේෂණය කරමින් මෙලෙස පළමු වාර්තාවෙහි පළ කර තිබූ සොයා ගැනීම් තහවුරු කර ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 22ක් ආවරණය වන සේ සමීක්ෂණයක් පැවැත්වීමට වෙරිටේ මීඩියා විසින් කටයුතු කරන ලදි. 2021 දෙසැම්බර් 16 සිට 2022 ජනවාරි 1 දක්වා කාලය තුළ, පුද්ගලයින් 2,476 ක් සම්බන්ධ කර ගනිමින්, ශ්‍රී ලංකාවේ වෙසෙන විවිධ ජන වර්ග අතර මුහුණට මුහුණ සිදු කරන ලද සාකච්ඡා ඔස්සේ මෙම සමීක්ෂණය සිදු කෙරිණි. කොවිඩ්-19 එන්නත කෙරෙහි පැවති විශ්වාසය, එන්නත ලබා ගැනීම සහ ඊට ඇති ප්‍රවේශය ආශ්‍රිත දත්ත ලබා ගැනීම කෙරෙහි මෙම සමීක්ෂණයේ අවධානය යොමු වූ අතර, එම සමීක්ෂණයේ ප්‍රධාන සොයා ගැනීම් මෙම මගින් සාරාංශගත කෙරේ. සමීක්ෂණය හරහා අනාවරණය කර ගත් ප්‍රධාන සොයාගැනීම් 10 ක් මෙම වාර්තාව මගින් ඉස්මතු කෙරේ. එම සොයා ගැනීම් 10, ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත කෙරෙහි පැවති විශ්වාසය, එන්නත ලබා ගැනීම, එන්නත පිළිබඳ වැරදි තොරතුරු සහ එන්නත් ලබා දීම හා බෙදා හැරීම සඳහා සම්බන්ධ වූ බලධාරීන් කෙරෙහි මහජනතාව තුළ පැවති විශ්වාසය යන කරුණු 4 මත පදනම් වී ඇත.

ශ්‍රි ලංකාව තුළ කොවිඩ්-19 එන්නත පිළිබඳව ප්‍රචලිතව තිබූ වැරදි තොරතුරුවලට එදිරිව කරුණු ඉදිරිපත් කිරීම සඳහාත්, ඒ් කෙරෙහි වූ අවිශ්වාසය දුරු කිරීම සඳහාත්, වෙරිටේ මීඩියා විසින් සමාජ මාධ්‍ය තුල සිදු කරන ලද පිළිබඳ විස්තර ද මෙම වාර්තාව මගින් දැක්වේ. මෙම  ප්‍රචාරණය හා සබැඳි උපාය මාර්ගය සකසන ලද්දේ සමාජ මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය වූ සංවාද සහ මුහුණට මුහුණ පැවැත් වූ සාකච්ඡා ඔස්සේ සිදු කරන ලද සමීක්ෂණයේ සොයාගැනීම් පදනම් කරගනිමිනි. තවද, කොවිඩ්-19 එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් දෙගිඩියාවක් පෙන් වූ කාණ්ඩ අතර එන්නත කෙරෙහි පවතින විශ්වාසය ඉහළ නැංවීමත්, එන්නත ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමත්, මෙම ප්‍රචාරණයේ අරමුණු ලෙසින් පැවතිණි.