දර්ශකයකට අනුව දුම්වැටි බදු අයකරන්නට කටයුතු කලොත්, 2020 දී, රජයට රුපියල් බිලියන 20ක අමතර ආදායමක්

කෝවිඞ් -19 වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග හේතුවෙන් ශ‍්‍රී ලංකා රජය අයවැය හා ආදායම් අර්බුදයකට මුහුණ දී තිබේ. මෙම අර්බුදයේ බොහෝ අවාසි පැවතුනත්, මෙම තත්ත්වය, ඇතැම් පාර්ශවකරුවන්ගේ අභිලාෂයන් අනුව කටයුතු කිරීමෙන් ඈත් වී, දුම්වැටි බදු ක‍්‍රියාත්මක කරන ආකාරය ක‍්‍රමවත් කිරීමට රජයට හොඳ අවස්ථාවක් ලෙස භාවිත කල හැකිය.

මෙම විශ්ලේෂණය පෙන්වා දෙන්නේ ලංකාවේ දුම්වැටි බදු සහ මිල ගණන් ඉහල දැමීම, රාජ්‍ය මුල්‍ය කළමනාකරණ මුල ධර්ම වලට අනුකුලව සිදු වී නොමැති බවයි.

රට රාජ්‍ය මුල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙන අවස්තාවක උදාවන, මැයි 31 වන දිනට යෙදී තිබුන ලෝක දුම්කොළ විරෝධී දිනය අපට සිහිපත්කර දෙන්නේ දුම්වැටි බදු ක‍්‍රමානුකුලව ඉහල දැමීමට අසමත් වීම ශ‍්‍රී ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තියේ බරපතල අසාර්ථකත්වයක් බවයි.