අයවැය පොරොන්දු කඩන සම්ප‍්‍රදායට අළුත් ඇමතිලා තිතක් තියයිද?

2018 අයවැය පොරොන්දු මල්ල පිළිබඳව ජනතාව කුතුහලයෙන් පසුවන මෙම වකවානුවේ, 2017 වසරේ දුන් අයවැය පොරොන්දු පිලිබඳව පසු විපරමක් කිරීම මෙම ලිපියේ අරමුණයි. අයවැය යනු ජනතාව විසින් පත් කළ මහජන නියෝජිතයින් සෑම වසරකම ජනතාව ඉදිරියට පැමිණ ඔවුන්ගෙන් එම වසර තුල එකතු කරගන්නට බලාපොරොත්තු වන බදු මුදල සහ එම මුදලින් රටේ සංවර්ධනය වෙනුවෙන් කරන්නට යන කර්තවයන් පිළිබඳ කරන වැදගත් ප‍්‍රකාශයකි. එසේම, ජනතාවට තමන් පත් කළ රජයේ ආර්ථික අරමුණු සහ ප‍්‍රතිපත්ති දිශානතිය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන ප‍්‍රකාශයක් ලෙසද අයවැය යෝජනා ඉතා වැදගත් වේ.

මෙසේ ජනතාව ඉදිරියට පැමිණ ඔවුන්ගෙන් ගන්නා බදු මුදල් පරිහරණය කරන ආකාරය පිළිබඳව දෙන පොරොන්දු රජය ඉටු කරුණු ඇතැයි ජනතාව අපේක්ෂා කරයි. එහෙත් අවාසනාවකට මෙන් අයවැය පොරොන්දු බොහොමයක් දිගින් දිගටම ඉටු නොකරන සම්ප‍්‍රදායක් ලංකාවේ මේ වන විට ස්ථාපිත වී ඇත. මෙසේ කඩ කරන පොරොන්දු පිළිබඳ වටහා ගැනීමට උපකාරී වන වැදගත් නිර්ණායකයක් වන්නේ අයවැය යෝජනා කරන අවස්ථාවේ විවිධ ක්ෂේත‍්‍රයන් සඳහා වෙන්කළ මුදල් ප‍්‍රමාණය සහ වසර අවසානය වන විට සැබවින්ම එම ක්ෂේත‍්‍රයන්ට වියදම් කළ මුදල් ප‍්‍රමාණයත් අතර තිබෙන දැවැන්ත පරතරයයි. මෙම විසල් වෙනස පෙන්නුම් කරන්නේ සෑම වසරකම රජය අයවැය හරහා ජනතාව මුලාවට ලක් කරන බවයි.

වෙරිටේ පර්යේෂණ ආයතනය වසර 2010-2014 අතර කාලය තුල දුන් අයවැය පොරොන්දු ඉටු කිරීමට එවකට සිටි රජය අසමත් වූ අවස්ථා ගණනාවක් 2014 සහ 2015 වසරවල පළ කල පුවත්පත් ලිපි මගින් පෙන්වා දී ඇත. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ 2015 සහ 2016 වසරවල ඉදිරිපත් කළ අයවැය පොරොන්දු කිහිපයක් පිළිබඳව පසු විපරමක් කිරීමයි. එකී පසු විපරමෙන් අනාවරණය වූ පහත කරුණු වැඩිදුර සාකච්ඡුා කිරීම මෙම ලිපියේ අරමුණයි.

  • ඡන්ද කාලෙට දෙන පොරොන්දු ඉටු කරන්න ඇති උනන්දුව ඡන්දෙන් පස්සේ නැහැ – ඡන්දය ගන්නට ජනතාව ඉදිරියට යන්නට සැරසෙන වසරවල රජය අයවැයෙන් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට දක්වන උනන්දුව වැඩි බව පෙනේ. එහෙත් එම උනන්දුව මැතිවරණයෙන් පසුව වියැකී යන බව අයවැය සම්බන්ධ දත්ත පෙන්වා දෙයි.
  • ජනතාවට ඍජුව දැනෙන පොරොන්දු රකින්න රජයෙන් වැඩි අවධානයක් – ගෙවුණු කාලය තුළ ලබා දී ඇති අනේකවිධ ඡන්ද පොරොන්දු දෙස බැලූ විට පෙනී යන්නේ ජනතාවගේ ඇඟට/බඩට දැනෙන සහනාධාර සහ දීමනා සම්බන්ධ පොරොන්දු රැුකීමට රජය වැඩිපුර උනන්දු වී ඇති බවයි. කැඩෙන පොරොන්දු බොහොමයක් දිගු කාලීනව ආර්ථික වර්ධනයට වැදගත්වන හෝ ජනතා අවධානයට පහසුවෙන් හසු නොවන ඒවාය.
  • රකින්නට බැරි බව දැන දැන දෙන ඇතැම් ලොකු පොරොන්දු අයවැයෙහි විශ්වාසනීයත්වයට දැඩි පහරක් – පෙර තක්සේරුවකින් හෝ ඇගයීමකින් තොරව ඇතැම් ක්ෂේත‍්‍ර සඳහා දෙන මුදල් විශාල ලෙස වැඩි කිරීමට පොරොන්දු වීම, එම මුදල් වසර අවසානය වන විට එම ක්ෂේත‍්‍රයට යෙදවීමට අසමත් වීමට ප‍්‍රධාන හේතුවක් විය හැකි බව දත්ත පෙන්වා දෙයි. මෙසේ මනා සැලසුම්කරණයකින් තොරව රකින්නට බැරි බව දැන දැන දෙන පොරොන්දු රජයේ අයවැය ප‍්‍රකාශයේ විශ්වාසනීයත්වය හීන කරයි.

2015 මැතිවරණයෙන් පසු බිඳුණු පොරොන්දු

මෙම ලිපිය අවධානය යොමු කරන්නේ රජය විසින් සපයන සමාජ සේවා යටතට වැටෙන අංශ පහක් සඳහා වැය කරන්නට පොරොන්දු වූ මුදල් පිළිබඳවයි. අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස, ශුභසාධන (විශ‍්‍රාම වැටුප්, සමුර්ධි සහනාධාර වැනි) සහ අනෙකුත් සමාජ සේවා (කසළ එක්රැස් කිරීම, ආපදා කළමනාකරණය වැනි) එම අංශ පහයි. මීට අමතරව ග‍්‍රාමීය ආර්ථිකය නැංවීමට සහ දිළිඳුකම තුරන් කිරීමට වැදගත් අංශයක් වන කෘෂිකර්මාන්ත හා වාරිමාර්ග යන අංශ පිළිබඳවද මෙම ලිපිය අවධානය යොමු කරයි. මෙකී අංශවලට එම වසර සඳහා අයවැයෙන් වියදම් කරන බවට පොරොන්දු වූ මුදල් සහ සත්‍ය වශයෙන්ම වසර අවසානය වන විට වියදම් කළ මුදල අතර ඇති පරතරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කරනු ලැබේ (රූපය 1)

1 රූපයෙන් පෙනෙන්නේ 2016 වසර තුල ශුභසාධන අංශය හැරුණු කොට අනෙක් සෑම අංශයක් සඳහාම රජය වියදම් කළ මුදල එම වසර සඳහා අයවැයෙන් පොරොන්දු වූ මුදලට වඩා බෙහෙවින් අඩු බවය. ප‍්‍රතිශතයක් වශයෙන් ගත් කළ අදාළ අංශ සඳහා වියදම් කළ මුදල, පොරොන්දු වූ මුදලට වඩා 20%කටත් වඩා අඩු වී ඇති අතර (උදා: අධ්‍යාපනය) සමහරක් අංශ සඳහා එය 30%කටත් වඩා අඩු වී ඇත (උදා: කෘෂිකර්මය).

2016 වසර, මැතිවරණ දෙකක් පැවති 2015 වසර සමග සංසන්දනය කිරීමේදී පෙනී යන්නේ, 2015දී රජය අයවැයෙන් පොරොන්දු වූ මුදලටත් වඩා වැඩි මුදලක් අධ්‍යාපනය, ශුභසාධනය, සහ කෘෂිකර්මාන්ත සහ වාරිමාර්ග යන අංශවලට වියදම් කිරීමට උනන්දු වී ඇති බවයි. උදාහරණයක් ලෙස කෘෂි අංශයට 2015දී වැය කළ මුදල, පොරොන්දු වූ මුදලට වඩා 14% කින් ඉහල ගොස් ඇත. පොරොන්දු ඉටු කිරීමට ඇති උද්‍යෝගය සහ මැතිවරණ අතර ඇති සබඳතාව මෙයින් මනාව පැහැදිලි වේ.

අයවැය ගැන විශ්වාසය පළුදු කරන ලොකු පොරොන්දු

2015 නොවැම්බර් මස වෙරිටේ ආයතනය මගින් පළ කළ ලිපියකින් පෙන්වා දුන්නේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රවලට 2016 වසරේ වියදම් කරන්නට පොරොන්දු වූ මුදල, සත්‍ය වශයෙන්ම වියදම් කිරීම රජයට අභියෝගයක් වනු ඇති බවයි. එසේම මෙවැනි රකින්නට බැරි ලොකු පොරොන්දු දී ජනතාව නොමග යැවීම යහපාලනය පොරොන්දු වූ රජයකට නොගැලපෙන බවත් එම ලිපියෙන් පෙන්වා දෙන ලදී.

2016 මහ බැංකු වාර්තාවේ පල කරන ලද දත්ත අනුව, වෙරිටේ ආයතනයේ පෙර නිගමනය නිවැරදි බව පැහැදිලි වේ. මෙම අංශ සඳහා වැය කළ මුදල, පොරොන්දු වූ මුදලට වඩා බෙහෙවින් අඩුය.  2015 අදාළ ක්ෂේත‍්‍ර සඳහා වැය කළ මුදලට සාපේක්ෂව 2016 පොරොන්දු වූ වෙනස සහ සැබෑ වෙනස අතර පරතරය 2 රූපයෙන් ප‍්‍රතිශතයක් ලෙස දක්වා ඇත.

2 රූපයට දෙස බැලූ විට පෙනෙන්නේ ශුභසාධන අංශයට හැරුණු කොට අනෙක් සෑම අංශයකම වෙන්කරන්නට පොරොන්දු වූ මුදල් ප‍්‍රමාණය 2015ට සාපේක්ෂව ඉතා ඉහල අගයක් ගන්නා බවය. උදාහරණයක් ලෙස නිවාස, සෞඛ්‍ය, කෘෂිකර්මාන්ත සහ වාරිමාර්ග, සමාජ සේවා සහ අධ්‍යාපන යන සියළු අංශවලට 2015ට සාපේක්ෂව 2016දී 25%කටත් වඩා වැඩි මුදලක් වියදම් කරන බවට රජය අයවැයෙන් පොරොන්දු වී ඇත. අධ්‍යාපනය සහ සමාජ සේවා සඳහා 2016දී වැය කරන්නට පොරොන්දු වූ මුදල 2015ට සාපේක්ෂව 40% කටත් වඩා වැඩිය. එහෙත් සැබෑ ලෙසම වියදම් කර ඇත්තේ පොරොන්දු  ප‍්‍රමාණයට වඩා ඉතා අඩු මුදලකි. ඇතැම් ක්ෂේත‍්‍රවලට 2015ට වඩා 40% කටත් වඩා වැඩියෙන් 2016 වියදම් කරන්නට පොරොන්දු වුවද, සැබෑ ලෙසම වියදම් කළ මුදල 2015දී වියදම් කළ මුදලටත් වඩා අඩු අගයක් ගැනීම කණගාටුදායක කරුණකි (උදා: නිවාස, සමාජ සේවා, කෘෂිකර්මාන්තය).

ජනතාවගේ ඇඟට දැනෙන පොරොන්දුවල වැදගත්කම

2015 සහ 2016 යන වසර දෙක තුල නොකැඩුණුු පොරොන්දුවකට ඇත්තේ ශුභසාධන වියදම් පමණි. වසර දෙකේදීම ශුභසාධන අංශයට පොරොන්දු වූ මුදලට වඩා මදක් ඉහල මුදල් ප‍්‍රමාණයක් වියදම් කිරීමට රජය කටයුතු කර ඇත. ශුභසාධන වියදම්වලින් බොහොමයක් ජනතාවගේ ඇඟට දැනෙන වියදම්ය. විශ‍්‍රාම වැටුප්, සමුර්ධි සහනාධාර වැනි ගෙවීම් ශුභසාධන වියදම්වලට ඇතුළත් වේ. මෙයින් මනාව පැහැදිලි වන්නේ ජනතාවට බලපෑම ඉක්මනින් දැනෙන කෙටි කාලීන අයවැය පොරොන්දු රකින්නට රජය වැඩි උත්සාහයක් ගන්නා බවයි. ලංකාවේ 580,000ක් පමණ විශ‍්‍රාමිකයන් සිටින අතර 25% කට වඩා පවුල් ප‍්‍රමාණයක් සමෘධිලාභින් වේ. මෙම වියදම් ජනතාවට නොදැනෙන ලෙස කපා හැරීම අපහසු කාරියකි. එබැවින්, මේ සඳහා වෙන් කරන්නට පොරොන්දු වන මුදල කෙසේ හෝ ලබා දීමට රජය උත්සුක වෙන බව පෙනේ.

2018 අයවැය: අළුත් මුදල් ඇමැතිලාගේ කුළුඳුල් පොරොන්දු

බලයට පත්වූ සෑම රජයක්ම පාහේ අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්ම හා වාරිමාර්ග යන අංශ දියුණු කිරීම තම සංවර්ධන සැලැස්මේ මුලික අරමුණක් බව මහ ජනතාව ඉදිරියේ පුන පුනා ප‍්‍රකාශ කර ඇත. එහෙත් ජනතාව ඉදිරියට පැමිණ කියන දේ සහ සැබවින්ම කරන දේ අතර විශාල වෙනසක් ඇති බව මෙම අංශවලට දීමට පොරොන්දු වන මුදල සහ සැබෑ ලෙස ලබා දෙන මුදල අතර වෙනස කියා පායි. මෙසේ මහජනතාව පත්කළ මහජන නියෝජිතයන්, එම ජනතාවගෙන් උපයා ගන්නා බදු මුදල් රටේ සංවර්ධනය සඳහා යොදවන ආකාරය පිළිබඳව කරන ජනතාව මුලා කරන ප‍්‍රකාශ එම ජනතාවට කරන අවමානයකි.

මෙසේ සෑම වසරකම ජනතාව මුලා කරන්නට රජයට හැකියාව ලැබී තිබෙන්නේ පසුගිය වසරේ වූ පොරොන්දුවලට වුණේ කුමක්දැයි දැන ගැනීමට ක‍්‍රමවේදයක් නොමැති බැවිනි. වත්මන් ක‍්‍රමය යටතේ, ජනතාව ඉදිරියේ අලූත් පොරොන්දු මල්ල දිග අරින්නට පෙර පරණ පොරොන්දු මල්ලට වූ දේ පිලිබඳ දත්ත සහ කරුණු ඇතුළත් වාර්තාවක් රජය ජනතාවට ඉදිරිපත් නොකරයි.

2018 වසරට අයවැය සකස් කරන්නට අළුත් මුදල් ඇමතිලා දෙන්නෙක් පත් කර ඇත. යහපාලන ආණ්ඩුව මෙම වසරේ මැයි මස මුදල් සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතාවද, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉරාන් වික‍්‍රමරත්න මහතාවද පත් කරන ලදී. පාලන කාලයක් අතරමැදින් කරනා මෙවැනි පත්වීම් ජනතාව තුළ යම් ධනාත්මක වෙනසක් පිළිබඳ අළුත් බලාපොරොත්තුවක් ඇති කිරීමට හේතු වෙයි.

2018 වසර සඳහා අයවැය ක‍්‍රියාවලිය දැනටම ආරම්භ වී ඇති අතර, තව මාස කිහිපයකින් නව මුදල් ඇමතිවරුන් සිය කුළුඳුල් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ඇත. මෙම අයවැයේදීවත් රකින්නට බැරි පොරොන්දු නොදීමටත්, දෙන පොරොන්දු මනා තක්සේරුවකින් සහ ඇගයීමකින් පසුව කරන්නටත් වග බලා ගැනීම තුලින් සහ පොරොන්දු ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මනා සැලැස්මක් සකස් කිරීම මගින් අයවැය පොරොන්දු කඩන සම්ප‍්‍රදායට තිතක් තියන්නට අළුත් ඇමතිලා සමත් වේදැයි ජනතාව බලා සිටිනවා ඇත.