නීතීඥ සුපුන් ජයවර්ධන
කර්මාන්ත සහ සේවා අංශවල රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට අවම වැටුප් තත්වයක් සහතික කිරීමේ අරමුණින් සම්පාදිත පනත් ත්‍රිත් වයක් මේ වන විට සක්‍රීය තත්වයේ පවතී. ඒ:
- 2016 අංක 3 දරන ජාතික අවම වේතන පනත,
- 2005 අංක 36 දරන ජාතික අයවැය සහන දීමනා පනත, සහ
- 2016 අංක 4 දරනජාතික අයවැය සහන දීමනා පනත, වශයෙනි.
- ඉහත පනත් මඟින්:
- රටේ ආර්ථිකය සහ සේවක ජීවන මට්ටම්වලට සමානුපාතිකව අවම වැටුප් මට්ටම තීරණය කිරීමටත් ,
- මෙරට උපරිම සේවක ප්‍රමාණයක් අවම වැටුප් නීතියෙන් ආවරණය කිරීමටත්,
- ශ්‍රී ලංකාව එළඹ ඇති අන්තර් ජාතික එකඟතාවන් ආමන්ත්‍රණය කිරීමටත්
ප්‍රමාණවත් ප්‍රතිපාදන දක්වා තිබේ ද යන්න මෙම ලිපියෙන් විමසා බැලේ.
අවම වැටුප ගණනය වන ආකාරය ගැන කෙටි විමසා බැලීමක්.
ඉතිහාසයේ පළමු වරට ජාතික අවම වේතන පනත මඟින් කර්මාන්ත සහ සේවා අංශයන්හී රැකියාවේ නියුතු සෑම සේවකයෙකු හටම රුපියල් 10,000ක අවම මාසික වැටුපක් සහතිකකරන ලදී. ඊට අමතරව, රුපියල් 40,000ට අඩු මාසික වැටුපක් ලබන සෑම සේවකයෙක් සඳහා ම 2016 අංක 4 දරන ජාතික අයවැය සහන දීමනා පනත මඟින් මාසිකව සේවය කල දින ගනනට සමානුපාතිකව හිමිවන රුපියල් 2,500ක උපරිම දීමනාවක් නියම කරනු ලැබිණි. මෙහි දී සැලකිය යුතු වැදගත් කරුණක් වන්නේ, මෙකී සියලු වැටුප් සහ දීමනාවන්ට 2005 අංක 36 දරන ජාතික අයවැය සහන දීමනා පනත මඟින් රුපියල් 20,000ට අඩු මාසික වැටුපක් ලබන සෑම සේවකයෙක් සඳහාම මාසිකව සේවය කල දින ගනනට සමානුපාතිකව හිමිකර දී තිබූ රුපියල් 1,000ක මාසික දීමනාව ද ඇතුලත්වීමයි. ඒ අනුව ඉහත කී අංශයන් හී සේවකයෙකුට හිමි විය හැකි මාසික අවම වැටුප රුපියල් 13500 දක්වා වර්ධනය විය.
කෙසේ නමුදු:
- රටේ ආර්ථිකයේ සිදුවන ඉහල පහල යෑම් වලට සමානුපාතිකව අවම වැටුප් ප්‍රමාණය නිර්ණය කෙරෙන යාන්ත්‍රණයක් හඳුන්වා නොදීම, සහ
- ගෘහ සේවකයන් වැනි රටේ ආර්ථිකයට සම්බන්ධ සේවක කණ්ඩායම් ඵලදායී ලෙස ආවරණය කිරීමට අපොහොසත් වීම;
යන දුර්වලතා ඉහත පනත් සම්පාදනයේ දී දක්නට ලැබේ. එය 1975 මාර්තු 17 වන දින ශ්‍රී ලංකාව අත්සන්කළ 1970 අංක 131 දරන c131-අවම වේතන සකස් කිරීම පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි විදිවිධාන වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඍනාත්මකව බලපා තිබේ.ඊට අමතරව, ‘සෑම පුද්ගලෙයකුටම තම පවුල සමඟ ගෞරවාන්විතව ජීවත් වීමට සරිලණ වැටුපක් ලබා දීම යන ජාතික අවම වේතනයක් ප්‍රකාශයට පත් කිරීමෙහි සැබෑ අරමුණද මෙතුලින් යටපත් වේ.
අන්තර්ජාතික එකඟතාවන් දුර්වල ලෙස ආමන්ත්‍රණය කෙරෙන නීතියක්
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් හඳුන්වා දෙන ලද 1970 අංක 131 දරන c131-අවම වේතන සකස් කිරීම පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි අරමුණ වනුයේ,සංවර්ධනය වෙමින් පවතින රටවල්ද ඇතුළුව සෑම රටකම සියලූ ම ක්ෂේත්රවල සේවකයන් ඌන වැටුපක් ලැබීමෙන් ආරක්ෂා කිරීමයි. සම්මුතියේ 1 වන වගන්තිය අනුව සෑම පාර්ශවකාරී රාජ්‍යයක්ම සේවක අවම වැටුප නිර්ණය කිරීමට සුදුසු දේශීය යාන්ත්‍රණයක් සකස් කල යුතුය. තව ද,ඒතුලින් ආවරණය කෙරෙන රැකියා ක්ෂේත්රයන් තීරණය කිරීමේ දී (i) සේවා නියුක්තිකයන් (ii) සේවා යෝජකයන් සහ (iii) රටේ විද්වතුන් නියෝජනය කරන වෘතීය සමිති වල උපදෙස් ලබාගත යුතුය.එමෙන් ම එහි 1(3) වගන්තිය අනුව,පාර්ශවකාරී රාජ්‍යයන් ජාත්‍යන්තර කම්කරු සන්විධාන ව්‍යවස්ථාවේ 22 වගන්තිය ප්‍රකාරව එම සන්විධානයට සම්මුතිය සම්බන්ධව ලබාදෙන පළමු වාර්තාව තුළ අවම වැටුප් නීතියෙන් ආවරණය නොවන රැකියා ක්ෂේත්රයන් සහ එකී රැකියාවන් ඉවත් කිරීමට හේතු මොනවාද යන්න පැහැදිලිව ඉදිරිපත් කලයුතුය. එමෙන්ම,අවම වැටුප් නීතියෙහි ආරක්ෂාව නොලබන රැකියාවන් හී නිරත වන්නන්ගේ වැටුප් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග ද තම වාර්ෂික වාර්තාවට ඇතුලත් කිරීමට රටවල් බැඳී සිටී.
අවම වැටුප් යාන්ත්රනයක් සකස් කරගැනීම
අවම වැටුප් යාන්ත්රනයක් සකස් කර ගැනීමේදී, එය දේශීය තත්වයන් ආමන්ත්‍රණය කරන්නක් සහ රටේ පවතින අවශ්‍යතාවයන් අනුව සකස් කරන ලද්දක් විය යුතු බව සම්මුතියේ 4(1) වගන්තිය පෙන්වා දෙයි.එසේ ම එය කාලයේ අවශ්‍යතාවන් ට ගැලපෙන පරිදි වෙනස් කල හැක්කක් ද විය යුතුය.මෙසේ රටෙහි සේවා නියුක්තිකයන්ගේ අවම වැටුප තීරණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු ප්‍රධානතම කරුණු දෙකක් සම්මුතියේ 3 වන වගන්තියෙන් පෙන්වා දෙයි.එනම්;
- සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතාවයන් – මීට රටේ සාමාන්‍ය වැටුප් තත්වය, ජීවන වියදම, සමාජ ආරක්ෂණ ප්රතිලාභවල ස්වභාවය සහ සාපේක්ෂව අනෙකුත් සමාජ කණ්ඩායම්වල ජීවන මට්ටම්’.
- ආර්ථික සාදක – මීට, ‘ ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාවන්, නිෂ්පාදන මට්ටම්, සහ රැකියාවක් සිදු කිරීමට ඇති ඉහල ආර්ථික අවශ්‍යතාවය’
ඇතුලත් වේ.
එමෙන් ම, ඉහත යාන්ත්‍රණය උපයෝගී කරගනිමින් රජය විසින් ප්‍රකාශයට පත් කරන අවම වැටුප් සීමාවන් එලෙසින් ම ක්‍රියාත්මක වන්නේද යන්න සොයා බැලීම සඳහා නිසි අධීක්ෂණ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කල යුතු අතර එකී නීතිය උල්ලංඝනය කරන්නන්ට අධිකරණමය ක්‍රියාමාර්ග ඔස්සේ දඬුවම් කිරීමට ප්‍රමාණවත් නීතිමය ප්‍රතිපාදන පැවතිය යුතුය.
අවම වැටුප් මට්ටම තීරණය කෙරෙන පනත් ත්‍රිත්වයක්
මෙරට කර්මාන්ත සහ සේවා අංශයන් හී අවම සේවක වැටුප් මට්ටම තීරණය කිරීම පිණිස හඳුන්වා දුන් 2016 අංක 3 දරණ ජාතික අවම වේතන පනත, 2005 අංක 36 සහ 2016 අංක 4 දරණ ජාතික අයවැය සහන දීමනා පනත යන පනත්වල ප්‍රතිපාදන සවිස්තරාත්මකව සලකා බැලීම මෙහිදී වැදගත්වේ.
මේ අතුරින් ජාතික අවම වේතන පනතේ අරමුණ වනුයේ කර්මාන්ත සහ සේවා අංශයන් හී සේවකයන් සඳහා අවම වැටුපක් නියම කිරීමයි. පනතේ 14 වගන්තිය දක්වන්නේ සේවකයා යන්න්නෙන් සංස්ථාගත කළ මෙන්ම සංස්ථාගත නොකළ කර්මාන්ත හා සේවාවන් හී ඕනෑම සේවකයෙක්ම අදහස්වන බවයි.ඉහත කී අංශයයන් හී සේවය කරන තැනැත්තෙකුගේ මාසික අවම වේතනය රුපියල් 10,000ක් ලෙස පනතේ 3 වගන්තිය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. පනතේ 5 වගන්තිය අනුව සෑම සේවා යෝජකයකුම තම සේවකයන් ගේ වැටුප් විස්තර අන්තර්ගත කොට ළේඛණයක් සැකසිය යුතුය. කම්කරු නිලධාරීන්ට ඔනෑම අවස්ථාවක එකී ලේඛනයෙහි නිරවධ්‍යතාවය පිරික්සීමට සේවා යෝජකයා විසින් ඉඩ දිය යුතු බව පනතේ 6 වන වගන්තිය දක්වා සිටී.
2016 අංක 4 දරන ජාතික අයවැය සහන දීමනා පනත මඟින්,කර්මාන්ත හා සේවා අංශයන් හී සේවකයන් සඳහා 2016 ජනවාරි මස සිට හිමිවන වැටුප් වැඩි වීමක් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ 2015 මැයි මස වන විට හිමි වූ වැටුපට සිදු කරන එකතු කිරීමක් වශයෙනි.ඒ අනුව එක් එක් මාසයේ සේවයට වාර්ථා කල දින ගනනට සමානුපාතිකව පනතේ 3(1) සහ, 3(2) වගන්ථි යටතේ හිමිවන දීමනාවන් දෙකක් ලෙස එය ප්‍රකාශයට පත් කර තිබේ.
පනතේ 3(1) වගන්තිය අනුව:
- රුපියල් 40,000කට අඩු මාසික වැටුපක් ලබන සෑම සේවකයෙකුටම සේවය කල දින ගනනට සමානුපාතිකව හිමිවන රුපියල් 1,500ක මාසික දීමනාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඉහත දීමනාවට අමතරව පනතේ 3(2) වගන්තිය අනුව:
- රුපියල් 4,0000කට අඩු මාසික වැටුපක් ලබන සෑම සේවකයෙකුටම සේවයකල දිනගනනට සමානුපාතිකව රුපියල් 1,000ක මාසික දීමනාවක් හිමිකර දී තිබේ.ඒ අනුව;
- 2015 මැයි මස වන විට රැකියාවෙහි නියුක්ත වී සිටි සේවකයන්;
- 2015 මැයි -2016 ජනවාරි අතරතුර රුපියල් 40,000 හෝ ඊට අඩු වැටුපක් ලැබූ සේවකයන්; සහ
- පනත බලාත්මකවූ දිනය එනම් 2016 මාර්තු 23වන දින හෝ ඊට පෙර බඳවාගෙන ඇති සේවකයන්;
- පනත යටතේ ප්‍රතිලාභීන් වේ.
මීට පෙරාතුව, 2005 අංක 36 දරන ජාතික අයවැය සහන දීමනා පනතෙහි 3(1) වගන්තිය මඟින්ද;
- රුපියල් 20,000 කට අඩු මාසික වැටුපක් ලබන සෑම සේවකයෙකුටම සේවයට වාර්තා කල දින ගනනට සමානුපාතිකව හිමිවන රුපියල් 1,000ක මාසික දීමනාවක් අනුමත කර දී තිබිණි.
යන්ත්රනයකින් තොර වූ අවම වැටුප් නීතියක්.
ජාතික අවම වේතන පනත මඟින් මෙරට කර්මාන්ත සහ සේවා අංශයන් හී සේවකයන් සඳහා රුපියල් 10,000ක අවම මාසික වැටුපක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊට අමතරව ජාතික අයවැය සහන දීමනා පනත මඟින් රුපියල් 40,000ක් හෝ ඊට අඩු වැටුපක් ලබන ඉහත අංශයන් හී සේවකයන් සඳහා වැටුපට අමතරව හිමිවන රුපියල් 2,500ක උපරිමයක් දක්වා වන දීමනාවක් ප්‍රකාශයට පත් කර ඇත.ඒ, 2005 අංක 36 පනත මඟින් හිමි කර දී තිබූ රුපියල් 1000ක දීමනාවට අතිරේක වශයෙනි.කෙසේ උවද, මෙකී පනත් ත්‍රිත්වයෙහිම දක්නට ලැබෙන පොදු ගැටලුව වන්නේ රටෙහි ආර්ථිකය සහ සේවකයන්ගේ ජීවන මට්ටම්වල සිදුවන අනාගත වෙනස්කම් වලට සමානුපාතිකවන පරිදි අවම වැටුප් සහ දීමනා මට්ටම් ඉහල නැංවීමට අවශ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපනය නොකිරීමයි.විශේෂයෙන්,අවම වේතන සකස් කිරීම පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි 3වගන්තියෙන් පෙන්වාදෙන අන්දමට සේවකයන්ගේ අවම වැටුප් මට්ටම නිර්ණය කෙරෙන යාන්ත්‍රනය (i) සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල අවශ්‍යතාවයන්, මෙන් ම (ii) රටෙහි අනෙකුත් ආර්ථික සාදක යන කාලයේ අවශ්‍යතාවන් ට ගැලපෙන පරිදි වෙනස් කල හැක්කක් විය යුතුය. කෙසේ වුවද, එවන් යාන්ත්‍රණයක් අන්තර්ගත නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී පනත් සංශෝධනයක් ගෙන එන තුරු ම කර්මාන්ත සහ සේවා අංශයන් හී සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 10,000ක් ලෙස නොසැලීම පැවතෙනු ඇත.
එමෙන් ම, එවන් නීතියක් රටෙහි සමස්ත කම්කරු ප්‍රජාව අතුරින් උපරිම ප්‍රමාණයක් ආවරණය වන පරිදි සම්පාදනය වීම ද අවශ්‍ය වේ. විශේෂයෙන් අවම වේතන සකස් කිරීම පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි 1(3) වගන්තිය අනුව එසේ අවම වැටුප් නීතියෙහි ආරක්ෂාව නොලබන සේවක කණ්ඩායම් සහ ඔවුන්ගේ වැටුප් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රාජ්‍ය විසින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සංවිධානය වාර්ෂිකව දැනුවත් කල යුතුය. කෙසේ වුවද, 2016 ජාතික අවම වේතන පනත මඟින් ආවරණය වන රැකියා ක්ෂේස්ත්රයන් කර්මාන්ත හා සේවා අංශයන්න්ට සීමා වී ඇති අතර ඒ තුලින් කම්කරු ප්‍රජාව උපරිම වශයෙන් ආවරණය කිරීමට පනත අසමත්වී තිබේ. මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව තුල බෙහෙවින් මුලු ගැන්වීමට ලක්ව ඇති ගෘහ සේවකයන් වැනි රැකියා ක්ෂේස්ත්රයන් අවම වැටුප් නීතියකින් ආවරණය කිරීමටපැවති අවස්තාව මඟහැරී යාමයි.
ඊට අමතරව, ජාතික අයවැය සහන දීමනා පනතෙහි 3(7) සහ 3(8) වගන්ති මඟින් පනතින් දක්වා ඇති ප්රතිලාභ වලට හිමිකම් නොකියන සේවක කණ්ඩායම් කිහිපයක් ප්රකාශිතවම දක්වනු ලබයි. මෙකී සේවක කණ්ඩායම් අතරට කාර්මික ආරවුල් පනත යටතේ යම් සාමූහික ගිවිසුමකින් වැටුප් වැඩිවීමක් හිමිවීමට නියමිත හෝ එසේ දැනටමත් සාමූහික ගිවිසුමකට එළඹ ඇති සේවකයන් (3(7) වගන්තිය), දේශීය ආදායම් පනත යටතේ පුණ්‍ය ආයතන වශයෙන් ලියාපදිංචි කර ඇති ආයතනවල සේවකයන් සහ, ආගමික සිද්ධස්ථාන වල සේවය කරන්නන් (3(8) වගන්තිය)අයත් වේ.කෙසේනමුත්, ඔවුන් ආවරණය නොවන්නේ ඇයි ද යන්න සම්බන්ධව කිසිත් ප්‍රකාශ වන්නේ නැත.
ඒ අනුව අවසාන වශයෙන් පෙනී යන්නේ 2016 වසරේදී අවම වැටුප් නීතියක් හඳුන්වා දෙනු ලැබූවද එතුලින් රටෙහි ආර්ථිකයේ මෙන් ම සේවකයන්ගේ ජීවන මට්ටම් වල සිදුවන වෙනස්කම් වලට සාපේක්ෂව අවම සේවක වැටුප් මට්ටම වෙනස් කෙරෙන යාන්ත්‍රණයක් හඳුන්වා දීමටශ්රී ලංකාව අසමත්ව ඇති බවයි.එමෙන් ම, එය අවම වැටුප් නීතියකින් ආවරනය කල හැකි සියලූම සේවක කණ්ඩායම් උපරිම ලෙස ආවරනය කිරීමට අසමත්වී තිබේ.උක්ත දුර්වලතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ අවම වැටුප් නීතිය මෙරට විසින් අත්සන් කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධාන සම්මුතියක් වන 1970 අංක 131 දරන c131-අවම වේතන සකස් කිරීම පිලිබඳ ජාත්‍යන්තර සම්මුතියෙහි විදිවිධාන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ඍනාත්මකව බලපා තිබේ.එහි අවසාන ප්‍රතිඵලය වනු යේ, ‘සෑම පුද්ගලයෙකු මතම පවුල සමඟ ගෞරවාන්විතව ජීවත් වීමට සරිලණ වැටුපක් ලබා දීම,යන ජාතික අවම වේතනයක් ප්‍රකාශයට පත් කිරීමෙහි සැබෑ අරමුණ යටපත් වීමයි.
මෙම ලිපියෙහි කතුවරයා වන නීතීඥ සුපුන් ජයවර්ධන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනයේ සහකාර නීති විශ්ලේෂකවරයෙකු ලෙස කටයුතු කරයි.වෙරිටේ රිසර්ච් ආයතනය ආසියාතික කලාපය වෙනුවෙන් ආර්තික විද්‍යාව නීතිය, දේශපාලණය, ජනමාධ්‍ය සහ පාරිසරික සහ දේශගුණික විපර්යාස යන ක්ශේෂ්ත්‍ර සම්බන්ධ උපායමාර්ගික විශ්ලේෂණ සපයන බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන පෞද්ගලික ආයතනයක් වේ.
වැඩිදුර අදහස් දැනගැනීමට: publications@veriteresearch.org යන ඊමේල් ලිපිනය හරහා විමසීම් කරන්න.