ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීමේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ තීරණය “මාතෘත්වයට නිගාවක්”

රූ හිමිකාරීත්වය බීබීසි සිංහල සේවය සහ දක්වා ඇති වෙනත් ආයතන සතුය

“මාතෘ සුරක්ෂිතතාව (Maternity protection) මූලික මානව අයිතිවාසිකමක් වන අතර, පවුල සහ රැකියාව සම්බන්ධ පූර්ණ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු අංගයකි. වැඩපොළේ දී කාන්තාව නොසලකා හැරීමට ලක් නොවීම සහ මවගේත්, දරුවාගේත් සෞඛ්‍යාරක්ෂාව ප්‍රවර්ධනය උදෙසා එය තීරණාත්මක සාධකයකි.”

– ලෝක කම්කරු සංවිධානය

වැඩපොළේ මාතෘ සුරක්ෂිතතාව හා බැඳුනු කම්කරු අයිතීන් පිළිබඳ පළමු ප්‍රඥප්තිය සම්මත කෙරුණේ මීට සියවසකට ඉහත දී, 1919 දීය. ඒ ලෝක කම්කරු සංවිධානයේ සමාරම්භක ජාත්‍යන්තර සමුළුවේදීය. ඉන් අනතුරුව 1952 දී සහ වසර 2000 දී මාතෘ සුරක්ෂිතතාව සම්බන්ධ තවත් ප්‍රඥප්තීන් දෙකක් සම්මත කෙරිණ.

ඒ සියලු ප්‍රඥප්තිවල මෙන්ම ලෝක කම්කරු සංවිධානය ප්‍රමුඛ කරගත් ආයතනවල සහ උද්ඝෝෂණ ව්‍යාපාරවල අරමුණ වූයේ කාන්තාව රැකියාවක නිරතවීම මගින් ඇයගේ සහ ඇයගේ කුසේ උපදින දරුවාගේ සෞඛ්‍යයට අනතුරක් නොවීම සහ කාන්තාවගේ ප්‍රජනන ක්‍රියාවලිය ඇයගේ රැකියාවේ සුරක්ෂිතභාවයට තර්ජනයක් නොවීම සහතික කිරීමය. එමෙන්ම දරු ප්‍රසූතිය නිසා කාන්තාව වැඩපොලේදී අනිසි පහත්කොට සැලකීමකට ලක් නොවීම සහතික කිරීම ද එහි අරමුණ විය.

ගැබිණි මවුවරුන්ට පෝෂණ මල්ලක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මඟ පෙන්වීම පරිදි එසේ මවගේත්, අනාගත පරපුරේත් සෞඛ්‍යය සුරක්ෂිත කරනු පිණිස ශ්‍රී ලංකාවේ ද ආණ්ඩු වරින්වර විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළහ.

2015 සිට යහපාලන ආණ්ඩුව විසින් දියත් කරන ලද ගැබිණි මව්වරුන් සඳහා රු 20000 පෝෂණීය දීමනාවක් ලබාදීමේ වැඩසටහන ද එවැන්නකි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
ඡායාරූප ශීර්ෂ වැකිය, “ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයකවත්, ගොඩක් වෙලාවට පෞද්ගලික ආයතනයකවත් දරුවෙක්ව ගෙනියලා, දරුවට මවු කිරි දෙන්න තැනක් නෑනේ” – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

මසකට රුපියල් 2000 ක් බැගින් මාස දහයක් මුළුල්ලේ ලබාදුන් එම දීමනාව වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසුව නතර කරනු ලැබ තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති විධිවිධාන ප්‍රකාර රජයේ සහ පෞද්ගලික අංශවල සේවය කරන සියලුම කාන්තාවන් සඳහා දරු උපත් වෙනුවෙන් දින 84 ක ප්‍රසූත නිවාඩුවක් හිමිවේ. එහෙත් මෑතදී රජයේ සේවයට බඳවා ගනු ලැබූ උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ට හිමිවන්නේ දින 42 ක ප්‍රසූත නිවාඩුවක් පමණක් බව ආණ්ඩුව පවසයි.

‘අමානුෂික තත්වයක්’

ආණ්ඩුවේ එම තීරණය පිළිබඳව මවුවරුන්, කාන්තා හිමිකම් ක්‍රියාධාරිනියන් මෙන්ම විරුද්ධ පක්ෂ ද ප්‍රතිචාර දක්වමින් සිටිති.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් ඇමතූ සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ආණ්ඩුවේ තීරණය ආපසු හැරවීම පිණිස ක්‍රියාකරන මෙන් සහ සටන් කරන මෙන් මෑතදී පියෙකු බවට පත් වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටින බව කියා සිටියාය.

“ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයකවත්, ගොඩක් වෙලාවට පෞද්ගලික ආයතනයකවත් දරුවෙක්ව ගෙනියලා, දරුවට මව් කිරි දෙන්න තැනක් නෑනේ,” යනුවෙන් ද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළාය.

“මේකේ තියෙන ප්‍රශ්නේ මේකයි. දරුවෙක් ප්‍රසූත කළාට පස්සේ සාමාන්‍යයෙන් වෛද්‍යවරු කියන්නේ පැය දෙකකට, තුනකට සැරයක් මව් කිරි දෙන්න කියලනේ, එතකොට පැය විසි හතරම. එතකොට අම්ම කෙනෙකුට විශේෂයෙන් රාත්‍රියේ නින්දක් නෑ.”

එවැනි තත්ත්වයක් තුළ දරුවකු ප්‍රසූත කළ මවකට මාස එකහමාරක් වැනි කුඩා කාලයක් ප්‍රසූත නිවාඩු ලබාදීම මගින් දරුවාට මව් සෙනෙහස සහ ආරක්ෂාව අහිමිවීම “අමානුෂික තත්ත්වයක්” බව ඇය පෙන්වා දෙන්නීය.

දරු සෙනෙහස
‘මාතෘත්වයට කරන නිගාවක්’

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ බොහෝ කාන්තාවෝ ඒ අදහස අනුමත කළහ.

කොළඹ ජාතික රෝහලේ හෙද නිලධාරිනියක වන මෆාසා රෂිඩ් පවසන්නේ, එය තමන්ට පුද්ගලිකව බලනොපාන්නක් වුව ද ආණ්ඩුව ගෙන තිබෙන්නේ “අසාධාරණ තීරණයක්” බවය.

“අනිත් එක child psychology එක පැත්තෙන් ගත්තම දරුවගේ මුල් කාලෙ හැම අවශ්‍යතාවයක් ම සැපිරෙන්නෙ අම්මගෙන්. එහෙම එකේ ඒක මෙහෙම අසාධාරණ විදිහට කපල දැම්මම හැදෙන දරුවො ගැන සාධාරණ බයක් තියෙනව,” ඇය කියා සිටියාය.

කාන්තාවෝ

අයේෂා වීරසිංහ, බදුල්ලේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග ඉංජිනේරුවරියකි.

“රජයක් උනාම මීට වඩා ගොඩක් දරුවො ගැන සංවේදීව හිතන්න ඕනෙ. දැනටත් ළමා අපචාර ඇති තරම් රටේ වෙනවා සහ ඒ ගැන අවධානය ඉතාම මදි ඒවත් තියෙද්දි මෙහෙම අඩු කරන එක තවත් ආකාරයේ පීඩාවට පත්කිරීමක්,” යනුවෙන් ඇය කියා සිටියාය.

ආණ්ඩුවේ තීරණය තමන්ට අදාළ නොවුණ ද, ප්‍රසූත නිවාඩුව දින 42 ක් කිරීම මගින් කාර්යක්ෂමතාවයේ ඉහළ යාමක් බලාපොරොත්තු විය නොහැකි බව ඇයගේ අදහසය.

“ළමයාට මව්කිරි දීමට මේ තීරණය සෑහෙන අවුලක්.”

පෞද්ගලික අංශය

වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය පෙන්වාදෙන ආකාරයට, ශ්‍රී ලංකාවේ රැකියා විරහිත කාන්තාවන්ගෙන් 82% ක්ම වයස 20-40 ත් අතර අය වෙති.

වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ දත්ත

මාතෘ නිවාඩු සඳහා සම්පූර්ණ පිරිවැය අදාළ සමාගම විසින් දැරිය යුතු බවට දැනට බලපවත්නා නීතිය හේතුවෙන් කාන්තාවන් බඳවා ගැනීමට පෞද්ගලික ව්‍යවසායකයන් උනන්දුවක් නොදක්වන බව එම ආයතනය පවසයි.

එබැවින් පෞද්ගලික ව්‍යවසායකයන්ගෙන් මාතෘ නිවාඩු බද්දක් අයකර ගනිමින්, පෞද්ගලික අංශයේ සේවයේ නිරත කාන්තාවන්ගේ ප්‍රසූත නිවාඩු සඳහා ආණ්ඩුවෙන් දීමනාවක් ලබා දිය යුතු බවට වෙරිටේ රිසර්ච් ආයතනය යෝජනා කරයි.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් කියා සිටියේ කාන්තාවන්ට ප්‍රසූත නිවාඩු ලබාදීම පිණිස රජයට වාර්ෂිකව වැයවන්නේ රුපියල් බිලියන 4.2 ක මුදලක් පමණක් බවය.

ආණ්ඩුව සමාගම් සඳහා වසරකට රුපියල් බිලියන 52 ක බදු සහන ලබාදෙන බවත් පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

ප්‍රසුත නිවාඩු දීමනා සඳහා වන වියදම සේවා යෝජකයාට දැරීමට සිදුවන වාතාවරණයක, කාන්තාවකට සාපේක්ෂව, පුරුෂයකු බඳවා ගැනීම සේවා යෝජකයාට පිරිවැය අඩු තීරණයක් බැවින් රැකියා වෙළෙඳපොළේ කාන්තාවට අවාසිසහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දෙයි.

එබැවින් මෙම වියදම බදුවලින් අඩු කරගැනීමට සැලසීම තුළින් මෙකී තත්ත්වය මගහරවා ගැනීම පිණිස දායක වී, රටේ ශ‍්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉහළ නංවා ගැනීමට සහ ආර්ථිකයට සකී‍්‍රය ලෙස කාන්තාවන් සම්බන්ධ කරගැනීමට රජයට හැකියාව ලැබෙනු ඇති බව එහි පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිනී අබේසිංහ සඳහන් කළාය.

වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ දත්ත

එම ආයතනය මතු කරන අදහසට පක්ෂ මෙන්ම විරුද්ධව සමාජ ජාල ඔස්සේ අදහස් පළ වී තිබුණි.

පෞද්ගලික අංශය තිබෙන්නේ බදු සහන ලබාගැනීම පිණිස පමණක් දැයි ප්‍රශ්න කරන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සන්ධානයේ අමාලි වෙළගෙදර, සිය සේවකයන්ගේ අයිතිවාසිකම් සහ සුභසාධනය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් පෙනී සිටින්නේ කවදා දැයි ප්‍රශ්න කර තිබුණි.

අමාලි වෙළගෙදර

ප්‍රසූත නිවාඩු ලබාදීම පිණිස සමාගම්වලට වැයවන පිරිවැය ආණ්ඩුව දැරිය යුතු බවට පර්යේෂණ ආයතනය දක්වන අදහස සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය සහ නෙත්මිනී මැදවල ප්‍රතිචාරය පළ කර තිබිණ.

“ශ්‍රී ලංකාවද ඇතුළුව ලොව රටවල් සියල්ලම පාහේ කාන්තාවන්ට හා පුරුෂයන්ට එක හා සමානව රැකියාවක නියැලීමේ ඇති අයිතිය ලබාදීමට ප්‍රතිඥා ලබා දී ඇති අවස්ථාවක, ගර්භනී බව හා මාතෘත්වය කාන්තාවන්ට රැකියාවේ නියැලීමේ හා ඉදිරියට කරගෙන යාමේ සම අයිතිය අහිමි කරවන සාධක නොවිය යුතුය,” යනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කර තිබුණි.

‘ජීවිතේ දිගුකාලීනම කැප කිරීම’

පර්යේෂණ ආයතනයක විධායක නිලධාරිනියක වන මැණික් ප්‍රනාන්දු වෙරිටේ රිසර්ච් ආයතනයේ එම යෝජනාවට සහය පළකරන්නීය.

“මම තරුණ දරුවෝ දෙන්නෙකුගේ අම්ම කෙනෙක්, බිරිඳක්, දියණියක්, ලේලි කෙනෙක්, සොහොයුරියක්, ඥාති සොහොයුරියක්, නෑන කෙනෙක්, නැන්ද කෙනෙක්, මිතුරියක් සහ ඒ සේරම මදිවට කාන්තාවන් මුල් තැන දෙන ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක්,” මැණික් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියාය.

“මේවා තමයි හැම වෙලාවකම මම දාගෙන ඉන්න තොප්පි. ඒ වගේම ඒවා එකිනෙක අතර යැපෙන ස්වභාවයක් තියෙනවා,” ඇය පවසන්නීය.

දැනට ශ්‍රී ලංකාවේ වෙසෙන ඇය, සිය දරුවන් දෙදෙනා ප්‍රසූත කරන විට වාසය කළේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරය.

“අම්ම කෙනෙක් වීම, මම මගේ ජීවිතේ වැඩිම සිහි බුද්ධියෙන් යුතුව ගත්ත දිගු කාලීනම කැපකිරීම. මාතෘ භාවය කියන දේ එක් පැත්තකින් නෙමෙයි පැති කිහිපයකින්ම ආශීර්වාදයක් කියල සලකන රටකදී මගේ දරුවන් ප්‍රසූත කරන්න මම වාසනාවන්ත වුණා.”

එහෙත් ආණ්ඩුවේ මෙම තීරණය අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තාවන් එතරම් වාසනාවන්ත නොවන බවය.

එබැවින් උපාධිධාරී අභ්‍යාසලාභිනියන්ගේ ප්‍රසූත නිවාඩුව කප්පාදු කිරීමේ තීරණය පිළිබඳව ආණ්ඩුව යළි සලකා බැලිය යුතු බව කාන්තාවෝ ඉල්ලා සිටිති.

නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි ගුරුවරියක බීබීසී සිංහල සේවය සමඟ කියා සිටියේ කාන්තාවන්ට දැනට අනුමත නිවාඩුව සියලු කාන්තාවන්ට අනිවාර්යයෙන්ම හිමිවිය යුතු බවය.

“ඒක නිරෝගී දරුවන් ජාතියට බිහි කිරීමට සෘජුවම බලපානවා,” යනුවෙන් ඇය සඳහන් කළාය.

“මේ වගේ නීතී සම්පාදනය කරන අයට ළමයි නැද්ද දන්නෑ,” යනුවෙන් පුද්ගලික අංශයේ සේවයේ නියුතු තරුණියක ප්‍රශ්න කළාය.

“කුඩා ළමයෙකුට යාන්තම් මාස දෙකට ලං වෙද්දී රස්සාවට යන්න වෙන එක හරිම ශෝචනීය තත්ත්වයක්. දැන් මට සම්පූර්ණ වැටුප් සහිත, අර්ධ වැටුප් සහිත, වැටුප් රහිත කියලා නිවාඩු තුනම තියෙනවා. ඒ නිසා කාන්තාවන් කොටසකට මේක අහිමි කරන එක කවුරු කළත් මාතෘත්වයට කරන නිගාවක්, ” එම තරුණිය වැඩිදුරටත් කියා සිටියාය.