බදු ආදායම අහිමි කරන “සිනි වංචාව” වැනි වංචා වැළක්වීමට නීති ප්‍රතිපාදන නොපමාව සැකසිය යුතුය

2023 නොවැම්බර් මස 09 වැනිදා ඩේලිමිරර් පුවත්පතේ පලවූ, ආචාර්ය නිශාන් ද මෙල් රචනා කළ “Sugar Scam” is not the whole iceberg: “Forestalling” needs a rule-of-law solution යන ලිපියේ පරිවර්තනයකි.

මුල් ලිපිය- https://www.dailymirror.lk/opinion/Sugar-Scam-is-not-the-whole-iceberg-Forestalling-needs-a-rule-of-law-solution/172-270880



2020 ඔක්තෝබර් 14 වැනි දින ආනයනික සීනි කිලෝග්‍රෑමයකට අය කරන බදු  රුපියල් 50 සිට රුපියල් ශත 25 දක්වා එක රැයකින් අඩු කරන ලදී. එය 99.5% ක අඩුවීමකි.    ආනයනය කරන ලද  විශාල සිනි  තොග මෙම අඩුකිරීමෙන් පසුව රේගුවෙන් නිදහස් කර ගැනීමට  කටයුතු කිරීම හරහා මේ පිළිබඳව පෙර සිටම දැනුවත්ව, සුදානම්ව සිටි අය අතිවිශාල ලාභ උපාය ගැනීම පිළබඳව මධ්‍යයේ සහ පාර්ලිමේන්තුවේද විශාල කතිකාවතක් ඇති විය.

මෙම බද්ද පසුගිය සතියේ ආපසු හැරවූ නමුත්, එම සංශෝදනය හරහාද පෙර අවස්ථාවට සමාන ලාභ ඉපයීමේ අවස්තාවක් ඒ පිළිබඳව පෙර සිට දැනුවත්ව සිටි අයට උදා විය. ඒ තමන් ළඟ ඇති සීනි තොග බදු වැඩි කරන තෙක් අලෙවි නොකර ගොඩ ගසා තබා ගැනීම හරහාය.

මෙම ලිපියේ අරමුණ වන්නේ ආර්ථික කළමනාකරණයේ මෙම ගැටළු ඉස්මතු කිරීම පමණක් නොව, “සීනි වංචාව” හා සමාන රජයට ආදායම අහිමි කරන සියලු “වංචා” කරන්නට ඇති ඉඩ කඩ අවම කරන්නට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග යෝජනා කිරීමයි.

“සීනි වංචාව” යනු කුමක්ද?

සීනි බදු වෙනස් කිරීමේදී අහිමි වන ආදායම පිළිබඳ ඇති වූ පුළුල් සහ නිරන්තර මහජන කතිකාවත් සමග අද වන විට “සීනි වංචාව” යන වචනය සාමාන්‍ය ජන වහරක් බවට  පත් වී ඇත. එම වචනයෙන් හැඟවෙන්නේ යම් යම් සම්බන්ධිත පාර්ශව වලට ඇති විශාල ලාභ ලබා ගැනීමට ඉඩ ප්‍රස්තා ඇති කරමින් එක රැයකින් බදු වෙනස් කිරීමට මුදල් අමාත්‍යවරයා සිය බලය (අව) භාවිතා කරමින් හදිස්සියේ තීරණය කිරීම, වංචනික ක්‍රියාවක් බවයි

එම බදු අඩු කිරීම හරහා සීනි වෙළඳපොලේ මිල ගණන් බලාපොරොත්තු වූ පරිදි පහත වැටුනේ නැත. ඒ වෙනුවට, සිදු වුයේ ආනයනික මිල සහ වෙළඳපල මිල අතර පරතරය වැඩි විමකී. මෙනිසා මෙම ක්‍රියාව හරහා ආනයනකරුවන්ට සුපිරි ලාභ ලැබීමට හැකි වුවා පමණක් නොව, වෙළඳපොල මිල සහ ආනයනිත මිල අතර පරතරය දිගින් දිගටම පැවතීම නිසා, එතැන් පටන් වසර කිහිපය තුල, පාරිභෝගිකයා අභබවමින්, නිෂ්පාදකයාට/සැපයුම්කරුවන්ට දිගින් දිගටම වාසි අත්පත් කරගැනීමට හැකි විය.

මෙම සිනි වංචාව නිසා රජයට මසකට රුපියල් බිලියන 2 ක පමණ වූ ඉතා විශාල පාඩුවක්, මාස 37ක් පුරාවට දරා ගන්නට සිදු විය. වාර්තාගත ලෙස කඩා වැටුණු රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට රටේ ජනතාවගේ පරිභෝජනය සහ ආදායම මත අය කරන බදු විශාල වශයෙන් වැඩි කරමින්,  රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කල මේ කාල වකවානුව තුල,සිනි බද්ද වෙනස් කිරීමට රජය කිසිදු පියවරක් ගත්තේ නැත.

විශ්ලේෂණ නොසලකා හරිමින් දිගින් දිගටම ආදායම අහිමි කර ගැනීම

මෙම බද්ද අවම වශයෙන් කිලෝග්රමයකට රුපියල් 50 දක්වා වැඩි කිරීම මගින් රජයට සිය ආදායම වර්ධනය කර ගත හැකි බවට විශ්ලේෂණ මෙම අවධියේ ප්‍රකාශයට පත්ව තිබුනි.  උදාහරණ ලෙස  මෙම බදු අඩු කිරීම හේතුවෙන් 2021 පෙබරවාරි දක්වා මාස පහ තුළදී රටට රුපියල් බිලියන 16 ක ආදායමක් අහිමි වූ බව පෙන්වන වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කළේය. ඉන්පසුව, වෙරිටේ රිසර්ච් ආයතනයද විගණකාධිපතිගේ ගණනය කිරීම් යාවත්කාලීන කරමින් 2023 මාර්තු මාසයේදී publicfinance.lk අන්තර්ජාල වේදිකාවේ මෙම බද්ද එහි පෙර මට්ටමට වහාම වැඩි කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙන විශ්ලේෂණාත්මක වාර්තාවක්ද ප්‍රකාශයට පත් කරන ලදී.

එහෙත්,රජය සිය ආදයම වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින කාල වකවානුවක පවා මෙම විශ්ලේෂණ නොසළකා හරින ලදී. ස්වල්ප දෙනෙකු අඩු බද්දෙන් ලබන සුපිරි ලාභ, වැඩි බද්දක් හරහා රටේ සමස්ත ජනතාවට ලැබෙන බදු ආදායමක් බවට පරිවර්තනය කර ගැනීමට කටයුතු නොකලේය.

ඒ වෙනුවට රජය  2021 ජනවාරි, අප්‍රේල් සහ ඔක්තෝම්බර් මාසවල මෙන්ම 2022 වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී සහ 2023 වසරේ ජනවාරි මාසයේදීද සිනි මත පැනවූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) ශත 25ක් ලෙස දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය ගැසට් නිවේදන නැවත නැවතත් නිකුත් කරන ලදී.

සීනි වංචාව – දෙවන කොටස

සිවිල් සමාජ සංවිධාන සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් 2023 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද ආණ්ඩුකරණය පිළිබඳ වාර්තා දෙකම සිනි වංචාව පළමු කොටස නිවැරදි කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර  ඇත. 2023 නොවැම්බර් දෙවන දින බද්ද  රුපියල් 50 දක්වා ඉහළ දමමින් එම වැරැද්ද නිවැරදි කිරීමට අවසානයේදී රජය කටයුතු කළේය.

සමාජයෙන් එල්ල වූ විවේචන හෝ ආදායම අහිමි වන බවට පෙන්වා දුන් විශ්ලේෂණ වලින් රජයේ තීරණය වෙනස් කිරීමට නොහැකි විය. රජය බද්ද වැඩි කිරීමට තීරණය කළේ වත්මන් වැඩසටහනේ දෙවන වාරිකය නිකුත් කිරීම අත්හිටුවමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මැදිහත් වී රතු නිවේදනයක් නිකුත් කල පසුය.

මෙම සංශෝධනයෙන් පසුව, සීනි වංචාව දෙවන කොටස පිළිබඳව මධ්‍ය වාර්තා පල වී ඇත. අඩු බදු ගෙවා කරන ලද සීනි ආනයන විශාල ප්‍රමාණයක් . බදු වැඩි කිරීමට මොහොතකට පෙර රේගුවෙන් නිදහස් කර ගැනීම හරහා නැවතත්, මේ පිළිබඳව දැනුවත්ව සිටි පාර්ශව වාසි ලබා ගන්නට ඇති බවට කතිකාවතක් මේ වනවිට ඇති වී තිබේ.

නවතම සංශෝධනයට පෙර දින සහ මාසවල සිදු වූ දේ පිළිබඳ දත්ත අප සතුව නොතිබුණද, පවතින දත්ත වලින් හැඟී යන්නේ බදු වැඩිවීමක් අපේක්ෂාවෙන් වැඩිපුර තොග ගබඩා කිරීම වසර තුළ සිදු වී ඇති බවයි.

2023 දී, ජුලි මස අවසන් වන විට සාමාන්‍ය මාසික සීනි ආනයනය (දැනට පවතින නවතම දත්ත වලට අනුව) 2022 දී සාමාන්‍ය මාසික සීනි ආනයනයට වඩා 61% වැඩි විය. එම වැඩිවීම තොග ගබඩා කිරීම නිසා සිදුවූයේ නම් (සමස්තයක් ලෙස ආර්ථිකය තවමත් සංකෝචනය වෙමින් පවතින බැවින්) ඔක්තෝම්බර් මාසය අවසන් වන විට මාස 5-6 කට ප්‍රමාණවත් වන තරම් අතිරික්ත සිනි ආනයන ගබඩා කර තබාගෙන තිබිය හැක.

“සීනි වංචාව” යනු වෙළඳපොල තරඟකාරීත්වයට විරුද්ධ ක්‍රියාවකි

“සීනි වංචාව” අනාවරණය වූවත්, පෙර වූ එවැනි සිදුවීම් රාශියක් අදාළ දත්ත විශ්ලේෂණ නොමැති වීම හේතුවෙන්, අනාවරණය නොවී  තිබිය හැක. මෙවැනි වෙළඳපොළ තරඟකාරීත්වයට පටහැනි වූ ක්‍රියාවන් “ෆොර්ස්ටෝලින්” ලෙස, එසේත් නැතිනම් භාණ්ඩ තොග ලෙස ගොඩ ගසාගෙන, විශාල ලාභයක් ලබා ගැනීමේ අරමුණින් මිල වැඩි වනතෙක් අලෙවි නොකර තබා ගැනීම/සඟවා තබා ගැනීමක් ලෙස හැඳින්වේ. පවතින දත්ත පෙන්වා දෙන මෙවැනි ක්‍රියාවක් ලංකාවේ සිදු වන,  තවත් අවස්තාවක් වන්නේ සිගරැට් නිෂ්පාදනය සහ බදු සම්බන්ධයෙනි. වෙරිටේ රිසර්ච් සහ ලෝක බැංකුව විසින් කරන ලද වාර්තාවල මෙය අවධාරණය කර ඇත. ‘ශ්‍රී ලංකාව: දුම්කොළ භාවිතය, දුම්කොළ පාලන නීති සම්පාදනය සහ බදුකරණය’ යන මාතෘකාවෙන් යුත් 2017 ලෝක බැංකු වාර්තාවේ දැක්වූ කරුණු වල සිංහල පරිවර්තනයක් මෙහිදී උපුටා දැක්විය හැක.

“මෙසේ මිල වැඩි වනතෙක් භාණ්ඩ අලෙවි නොකර තොග වශයෙන් තබා ගැනීම, 2017 මුල් භාගයේ ආදායම් පහත වැටීමට හේතු වූ තවත් කරුණක් විය. බදු වැඩිකිරීම් අපේක්ෂාවෙන්, නිෂ්පාදකයින්ට දැනට පවතින අඩු බද්ද යටතේ කරන තම නිෂ්පාදන වැඩි කිරීම හෝ පවතින භාණ්ඩ තොග ලෙස ගොඩ ගසා ගැනීම හරහා වාසි ලබා ගැනීමට කටයුතු කරන්නට ඉඩ කඩ ඇත. 2016 ජූනි පළමු වන දින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිගරට් සඳහා සැලකිය යුතු ලෙස බදු වැඩිකිරීම් පිළිබඳ සැලසුම් ප්‍රකාශයට පත් කළේය. මෙම බදු වැඩි කිරීම ක්‍රියාත්මක වීමට පෙර, දුම්වැටි නිෂ්පාදනය සහ බදු ගෙවිය යුතු තොග වැඩි කිරීමට ලංකා දුම්කොළ සමාගමට මාස හතරක් තිබුණි…” විශ්ලේෂණාත්මක සහ ප්‍රමාණාත්මක සාක්ෂි දක්වමින් බදු වෙනස්කිරීමට පෙර, සිගරැට් නිෂ්පාදන වැඩි කිරීමක්, තොග රැස් කිරීමක් සිදු වී ඇති බවට මෙම වාර්තාව පෙන්වා දෙයි.

2020 දී Newshub.lk ප්‍රවෘත්ති වෙබ් අඩවිය “BOC අයවැයට පෙර සිගරට් තොග රැස් කිරීමට රුපියල් මිලියන 2,150ක් අනුමත කරන ලදී”  යන මැයෙන් ලිපියක් පල කළේය. එහි සඳහන් වූයේ සිගරට් නැවත අලෙවි කිරීමේ නියෝජිතයෙකුට රජයේ බැංකුවක් රුපියල් බිලියන 2කට අධික ණයක් ලබා දී ඇති බවයි. https://bit.ly/Cig_StockPilling වෙතින් ලබා ගත හැකි මෙම ලිපියෙන්, මෙසේ බදු වෙනසක් කිරීමට පෙර තොග රැස් කරගත් ආකාරය විස්තර කර ඇත්තේ එය වැරදි ක්‍රියාවක් බව හැඟීමකින් තොරව ද විය හැකිය. මෙම සිදුවීමට අදාළ සියලුම පර්යේෂණ සහ කරුණු දැන් https://bit.ly/BOC_Cig_Stockpiling හි පල කර ඇත.

වැරැද්දක් ලෙස නම් කිරීම සහ වැරැද්ද සිදුවීමට ඇති ඉඩ අඩු කිරීමට පියවර ගැනීම

අවම වශයෙන් 1321 තරම් ඈත අතීතයේ සිට ඉංග්‍රීසි නීතියේ ‘ෆොර්ස්ටෝලින්’ යන ක්‍රියාවලිය නම් කර එය වරදක් ලෙස පිළිගෙන ඇත. ශ්‍රී ලංකාවේ ගැටලුව වන්නේ එසේ තොග ගොඩ ගසා ගැනීම සාමාන්‍ය දෙයක් වීම පමණක් නොව, එය නීත්‍යානුකූලව සීමා කළ යුතු සමාජ විරෝධී ක්‍රියාවක් ලෙස නම් කර හඳුනා නොගැනීමයි.

2003 දී ශ්‍රී ලංකාව දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුව (FCTC) අනුමත කරන ලදී. මෙසේ බදු වැඩිකිරීම් අපේක්ෂාවෙන්, කරන තොග රැස් කිරීමට (ෆොර්ස්ටෝලින්) විරුද්ධව කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස FCTC නිර්දේශ කරයි. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) සඳහා FCTC හි 6 වන වගන්තියට ශ්‍රී ලංකාවේ අනුකූලතාව පිළිබඳව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද පර්යේෂණ වාර්තාවේ කරන ලද ප්‍රකාශනයක සිංහල පරිවර්තනයක් පහත සඳහන් කර ඇත .

“බදු වැඩි කරනු ඇතැයි අපේක්ෂාවෙන් තොග රැස්කිරීම (ෆොර්ස්ටෝලින්) වැළැක්වීමට වත්මන් නීති මගින් කිසිද පියවරක් ගෙන නැත. රජයේ බලධාරීන් සිගරට් නිෂ්පාදනය පිළිබඳ මාසික දත්ත රැස් කරන අතර එමඟින් මෙසේ තොග රැස්කිරීමක් සිදු වී ඇතිදැයි අවබෝධ කර ගැනීමට හැකියාවක් ඇතත්, , ඔවුන් ඒ පිළබඳව අවධානය යොමු කරන බවක් නොපෙනේ. ලංකාවේ මෙසේ තොග රැස් කරගැනීමට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හෝ ක්‍රියාමාර්ග නොමැත.” එම වාර්තාව https://bit.ly/40q6YlPහි පල කර ඇත.

විවිධ වර්ගයේ බදු සංශෝධනය කිරීමේදී සිය අභිමතයට අනුව කටයුතු කිරීමට විධායකයට විශාල අවකාශයක් ශ්‍රී ලංකාව තුල ඇති බැවින්. ෆොර්ස්ටෝලින්, එසේත් නැතිනම් මෙසේ බදු වැඩිකිරීම් අපේක්ෂාවෙන් භාණ්ඩ තොග සැඟවීම/රැස් කිරීම සම්බන්ධ ප්‍රතිපත්ති, සිගරැට් බදු වලට සීමා නොවුණු පුළුල් එකක් විය යුතුය.

තීරණ ගැනීමට ඇති බලය අයුතු ලෙස භාවිතා කරමින්,  මහජන සුබසිද්ධියට පටහැනිව යමින් විවිධ පුද්ගලයන්ට ප්‍රතිලාභ ලබා දීමේ අපේක්ෂාවෙන්  ගත් තීරණ වන නිසා, මෙවැනි ක්‍රියා ‘දුෂණය’ පිළිබඳ නිර්වචනය තුලට ඇතුලත් කළ හැකි බැවින්, එම ක්‍රියාවන්ට  එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය. එසේම මහජන විශ්වාසය කඩ කිරීම යටතේ මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් අයදුම්පත් ද ඉදිරිපත් කිරීමට ද ඉඩ කඩ ඇත. එහෙත් ‘ෆොර්ස්ටෝලින් නැතිනම් බදු වෙනස් වේ යැයි අපේක්ෂාවෙන්/ඒ පිළිබඳව දැනුවත්ව තොග රැස් කිරීමට/සැඟවීමට එරෙහිව ඍජුව කටයුතු කිරීමට පැහැදිලි නීතියක් නොමැත.

පවතින පනත් යටතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමෙන් වෙලඳපොල තරඟකාරීත්වයට එරෙහි මෙවැනි ක්‍රියාවන් පාලනය කිරීම ආරම්භ කළ හැකිය,. එවැනි ක්‍රියා වෙළඳපල තරඟකාරිත්වයට එරෙහිව ක්‍රියා කිරීමක්  සහ බදු පැහැර හැරීමක් ලෙස පවතින පනත් යටතේ හඳුනා ගැනීමට කටයුතු කළ හැක. (උදා: 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත, සුරාබදු ආඥා පනත, සහ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත).

මෙසේ ආරම්භයක් ලබාගෙන පසුව මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව ජාත්‍යන්තරව සම්මත කරන ලද නීති පාදක කර ගනිමින්, ඒවා වැලැක්වීමට මෙන්ම, එවැනි ක්‍රියාවල නිරතවෙන අයට දඬුවම් කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සැකසිය හැකිය. මෙය සිවිල් සමාජ සංවිධාන මෑතදී ප්‍රකාශයට පත් කරන ලද ආණ්ඩුකරණය පිළිබඳ වාර්තාවෙහිද සිගරැට් සම්බන්ධයෙන් ඇතුලත් කර ඇති නිර්දේශයකි; එයින් හැඟවෙන්නේ මෙවැනි ක්‍රියාවන් වැළැක්වීමට නීතිමය පියවර ගැනීමට කාලය පැමිණ ඇති බවත්, තවත් ප්‍රමාද නොවී ඒ සඳහා කටයුතු කිරමේ වැදගත්කමත් ශ්‍රී ලාංකික අප සැම වටහා ගත යුතු බවත්ය.