කුට්ඨනය: බරපතල ලෙස නොදකින බරපතල අපරාදයක්

පළවූයේ – රැස

සම්පාදනය –  නීතීඥ සුපුන් ජයවර්ධන

පහත සිදුවීම් ගැන මොහොතක් සිතන්න.

මෙම  සිදුවීම් ත්‍රිත්වය  සලකා බලන විට කුමාරන්, කමල් සහ ජමීලා විවිධ අපරාදවලට වෙන වෙනම  ගොදුරු වී ඇති බව පැහැදිලි ය. නමුත් ඔවුන් තිදෙනාම ගොදුරු වූ තවත් අපරාදයක් පවතී. එය නම්  කුට්ඨනයයි. විවිධ නීතිවිරෝධී අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් භාවිත කිරීම පිනිස මිනිසුන් එක් තැනක සිට තවත් තැනකට ප්‍ර‍වාහනය කිරීම හෙවත් කුට්ඨනය කිරීම, අද වන විට ක්‍ර‍මානුකූලව ඉහල යමින් පවතී. එක්සත් ජාතීන්ගේ මත්ද්‍ර‍ව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ වාර්තාවන් පෙන්වා දෙන්නේ වසර 2012 සහ 2014 අතර කාල පරිච්ඡේදය තුළ පමණක් නීතිවිරෝධී අරමුණු වෙනුවෙන් භාවිත කිරීම සඳහා මිනිසුන් රටවල් අතර ඒ මේ අත ප්‍ර‍වාහනය කළ අවස්තාවන් 500කට වැඩි ප්‍ර‍මාණයක් හඳුනාගත් බවයි. මෙහි ඇති භයානක ම තත්ත්වය නම් මෙම ගමන් වාර ලෝකයේ සෑම දෙසින් ම වාර්තා වී තිබීමයි.

මේ අතර ලෝක කම්කරු සන්විධානය නිරීක්ෂණය කරන අන්දමට බලහත්කාරයෙන් කම්කරු ශ්‍ර‍මය ලබා ගැනීම, කුට්ඨනය සහ නූතන වහල් භාවය ශ්‍රී ලංකාව ඇතුලු ආසියා පැසිෆික් කලාපය මුහුන දී සිටින බරපතල ම ගැටලුව බවට පත්ව තිබේ. තවදුරටත් එම ඇස්තමේන්තුවලට අනුව ආසියා පැසිෆික් කලාපය තුළ දල වශයෙන් මිලියන 11ක පමණ මිනිසුන් සංඛ්‍යාවක් බලහත්කාරයෙන් කම්කරු ශ්‍ර‍මය ලබා ගැනීමට භාජනය වී තිබේ. එය සමස්ත ලෝකය තුළ ම බලහත්කාරයෙන් කම්කරු  ශ්‍ර‍මය ලබා ගැනීමට භාජනය වී ඇතැයි සැලකෙන මිලියන 21ක පමණ මිනිසුන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවකි. ශ්‍රී ලංකාවේ දැනටමත් අපරාධමය වරදක් ලෙස නම් කර ඇති කුට්ඨනය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන මෙම ලිපිය ශ්‍රී ලාංකිකයන් වන අප ඒ සම්බන්ධව වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි ද යන්න විමසා බලයි.

 

නීති විරෝධී අරමුණු  පිණිස යෙදවීම සඳහා මිනිසුන් එක් තැනක සිට තවත් තැනක් වෙත රැගෙනයාම  හෙවත්  කුට්ඨනය යන අපරාධය තුළින් සමාජයට  බරපතල ප්‍ර‍තිවිපාක රාශියක් ඇති කරයි. විශේෂයෙන්ම  අනෙකුත් අපරාදවලදී මෙන් නොව කුට්ඨනයේ දී අපරාධයට භාජනයවන තැනැත්තා ද වරදකරුවෙකු වීමේ අවදානමක් පවතී. ඒ අනුව විවිධ රටවල් අතර මිනිසුන් කුට්ඨනය කෙරෙන අවස්තාවන්හී දී දේශ සීමා උල්ලංඝනය කිරීම , අවසර‍ නොමැතිව වෙනත් රටක රැඳී සිටීම යන වැරදිවලට වින්දිත තැනැත්තන් වරදකරුවන් වන අතර, බොහෝ විට සිදුවන්නේ ඔවුන්ව මෙම තත්ත්වයට පත් කළ අපරාධකරුවන් නීතියට හසු නොවී පලා යාමයි. එමෙන් ම කුට්ඨනයට ලක්වන මිනිසුන් බොහෝ විට තවත් අපරාධ රාශියකට ගොදුරු විය හැකි ය. උදාහරණයක් ලෙස , ගණිකා වෘත්තියෙහි යෙදවීම, බලහත්කාරයෙන් විවාහකරවීම, බලහත්කාරයෙන් කම්කරු සේවයේ යෙදවීම, වහල්භාවයට පත් කිරීම, අවයව ඉවත් කිරීම මෙසේ ගොදුරු විය හැකි අවස්ථාවන් කිහිපයකි. මීට අමතරව කුට්ඨනය අද වනවිට දේශසීමා ඉක්මවා යන අපරාධයක් බවට පත් වී ඇති නිසා  එය පිටුදැකීම තනි රටකට හෝ ආයතනයකට පමණක් සිදු කර හැක්කක් නොවේ. ඒ අනුව එය අවම කිරීමට සහාය වීම සෑම නීතිගරුක පුද්ගලයෙකුගේම  යුතුකමකි.

සාමාන්‍යයෙන් ගත්කල  කුට්ඨනයට භාජනය වන්නේ තමන් ජීවත් වෙමින් සිටින රටවල නොයෙකුත් හේතු මත පීඩාවන්ට සහ අසාදාරන සැලකිලිවලට බඳුන් වූවන් ය. මේ අතර අධික  දුප්පත්කම, ගෞරවාන්විත රැකියා අවස්තා නොමැති වීම, ශාරීරික හෝ මානසික ආබාධයන් මෙන් ම ස්ත්‍රීපුරුෂබාවය හෝ ජනවාර්ගිකත්වය මත වෙනස්කම්වලට භාජනය වීම යන හේතු ප්‍ර‍මුඛව දක්නට ලැබේ. මිනිසුන් කුට්ඨනය කරන්නන් ඉහත හේතු උපයෝගී කර ගනිමින් කුට්ඨනය සඳහා මිනිසුන් පොළඹවන අතරම එසේ රැගෙන යන මිනිසුන් විවිධ වදහිංසාවන්ට සහ අවමන් සහගත සැලකිලිවලට භාජනය කරයි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍ර‍ව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලයේ නවතම සංඛ්‍යා දත්තවලට අනුව මෙසේ ලොව පුරාම කුට්ඨනයට ලක්වන මිනිසුන් අතුරින්  සියයට 54ක් ගණිකා වෘත්තීය ඇතුලු ලිංගික සූරාකෑම් සඳහා ද, තවත් සියයට 40ක් පමණ දෙනා  බලහත්කාරයෙන් කම්කරු ශ්‍ර‍මය ලබා ගැනීම පිනිස ද ,යොදවනු ලබයි. එමෙන්ම ඉහත සංඛ්‍යා දත්ත අනුව මෙසේ කුට්ඨනය කරන මිනිසුන් අතුරින් වැඩි ප්‍ර‍මාණයක් කාන්තාවන් වන අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 71 කි. කෙසේ වෙතත් වසර 2004 දී කුට්ඨනයට ලක්වන පුරුෂයන්ගේ ප්‍රතිශතය වාර්තා වූයේ සියයට 16ක් වශයෙනි. වසර 10ක ඇවෑමෙන්  එනම් 2014 වසර වන විට එම ප්‍රතිශතය සියයට 29ක් දක්වා ඉහල ගොස් ඇත.

ශ්‍රී ‍ලාංකික අප ඒ පිලිබඳ සැලකිලිමත් විය  යුත්තේ ඇයි?

අද වන විට ශ්‍රී ලංකාව මිනිසුන් කුට්ඨනය කිරීම ආරම්භ කෙරෙන රටක (country of origin) තත්ත්වයට පත් වී තිබේ. ඒ අනුව මුහුදු මාර්ගය ඇතුලු විවිධ නීතිවිරෝධී  මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවේ සිට ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් සංවර්ධිත රටවලට මිනිසුන් කුට්ඨනය කිරීම පසුගිය දිනවල බොහෝසෙයින්  දක්නට ලැබුණි . එමෙන්ම, ලියකියවිලි ඉදිරිපත් කිරීම මගින් බාලවයස්කාර කාන්තාවන් ඇතුලු විවිධ පිරිස් මැද පෙරදිග රටවලට යැවීම ද කලක පටන් දක්නට ලැබෙන්නකි. තවද, වෙනත්  රටවල්වලින් කුට්ඨනය කරනු ලබන මිනිසුන් හුවමාරු කරන ස්ථානයක් (transit point) මෙන් ම ගෙනවුත් දමන ගමනාන්තයක් (country of destination) වශයෙන් ද, මිනිසුන් කුට්ඨනයේ යෙදෙන්නන් ශ්‍රී ලංකාව භාවිත කිරීමේ අවදානමක් මෑත කාලීනව ඉස්මතුවෙමින් තිබේ. මෙකී අපරාදකරුවන්ට දඬුවම් කිරීම සඳහා අවශ්‍ය ප්‍ර‍තිපාදන ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍ර‍හය මෙන්  ම ආගමන විගමන පනත තුළ අන්තර්ගතව පැවතුන ද වර්තමානයේ ඉස්මතු වෙමින් පවතින අලුත් තත්ත්වයන් ආවරණය කිරීමට ඒවා ප්‍ර‍මාණවත් නොවේ.

උදාහරණයක් ල‍ෙස, ශ්‍රී  ලංකා දණ්ඩ නීති සංග්‍ර‍හය ‘කුට්ඨනය කිරීම පිනිස යම්  පුද්ගලය‍ෙක් මත බලය ය‍ෙදවීම’ යන වරද පැහැදිලි කිරීමට භාවිත කරන එක ම වචනය වන්නේ ‘ප‍ෙළඹවීම යන්නයි. නමුත් පැලමොර් ප්‍රොටෝකෝලය ඒ ව‍ෙනුවට යම් පුද්ගලය‍ෙකුග‍ෙන් ‘මූල්‍යමය ග‍ෙවීමක් ලබා ගැනීම, ලබා දීම, හෝ ව‍ෙන යම් ප්‍ර‍තිලාබයක් ලබා දීම තුළින් කැමැත්ත ලබා ගැනීම’ යන පුලුල් වාක්‍ය කණ්ඩය ඇතුලත් කර තිබේ. ක‍ෙසේනමුදු ම‍ෙහි දී වැඩි වශය‍ෙන් අවශ්‍ය වන්නේ පවතින නීති ප්‍ර‍තිපාදන වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීමයි. වසර 2017 සඳහා ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මිනිසුන් කුට්ඨනය කිරීම පිලිබඳව නිකුත් කළ වාර්ෂික වාර්තාවට අනුව 2016 වසරේ දී ශ්‍රී ලංකාව විසින් විමර්ශන ආරම්භ කිරීමට සමත්ව ඇත්තේ මිනිසුන් කුට්ඨනය කිරීම්වලට අදාල සිදුවීම් 7ක් සම්බන්ධයෙන් පමණි. මෙය දිනෙන් දින සංවිධානාත්මක සහ දේශ සීමා ඉක්මවා යන අපරාදයක් බවට පත්ව ඇති කුට්ඨනය මැඩ පැවැත්වීමට කිසි සේත් ප්‍ර‍මාණවත් වන්නේ නැත.

කුට්ඨනය පිටුදැකීමට නම්,

ඒ අනුව කුට්ඨනය යනු බරපතල අපරාධමය වරදක් බවත්, එය පිටුදැකීම පිනිස ශ්‍රී ලංකාව ප්‍ර‍මාණවත් නීතිමය ප්‍රතිසන්ස්කරණ හඳුන්වා දිය යුතු බවත් පැහැදිලිය. එසේම එකී නීතිමය ප්‍ර‍තිපාදන ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍ර‍ණයන් නිර්මාණය කිරීම ද, අත්‍යවශ්‍ය වේ. මීට අමතරව වඩාත් වැදගත් වන්නේ තමන් කුට්ඨනය නම් අපරාදය‍ට ගොදුරු විය හැකි අවස්තාවන් පිලිබඳ ජනතාව හැකි තරම් දැනුම්වත් කිරීමයි. ඒ මෙන්ම  රට තුළ ඇතිවන ආර්ථික  සහ දේශපාලනික අස්ථාවරභාවය , ස්වාභාවික විපත්, කුසගින්න වැනි තත්ත්වයන් මිනිසුන් කුට්ඨනයේ යෙදෙන්නන්ට වාසිදායක වටපිටාවක් සකස් කරන බැවින් රටෙහි  පුරවැසියන්ට තම අනාගතය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි තත්ත්වයක් රට තුළ සෑම විටම පවත්වාගෙන යාම ද අත්‍යවශ්‍ය වේ.

 

මෙම ලිපියෙහි කතුවරයා වන නීතීඥ සුපුන් ජයවර්ධන වෙරිටේ රිසර්ච් ආයතනයේ සහකාර නීති විශ්ලේෂකවරයෙකු ලෙස කටයුතු කරයි. තව ද ලිපියෙහි  ගුණදොස් විචාරීම තුළින් මහත් සේ සහය වූ වෙරිටේ රිසර්ච් ආයතනයේ නීති අධ්‍යයන අංශයේ උප අංශප්‍ර‍ධානී  නීතීඥ මල්සිරිනි ද සිල්වා වෙත  විශේෂ ස්තුතිය හිමිවේ. වෙරිටේ රිසර්ච් ආයතනය ආසියාතික  කලාපය වෙනුවෙන් ආර්ථික විද්‍යාව, නීතිය, දේශපාලනය සහ ජනමාධ්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධ උපායමාර්ගික විශ්ලේෂණ සපයන බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන පෞද්ගලික ආයතනයක් වේ.

වැඩිදුර අදහස් දැනගැනීමට: publications@veriteresearch.org යන ඊමේල් ලිපිනය හරහා විමසීම් කරන්න