ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරණය: ප්‍රධාන කාර්ය සාධන දර්ශක පිළිබඳ ඇගැයීම ජූලි 2022

ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුකූල වූ අයවැයකරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අත්කර ගෙන ඇති අසාර්ථකත්වය මෙම වාර්තාව මගින් ඉස්මතු කෙරේ. රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම දුර්වල වීම හේතුවෙන් සැලසුම් ක්‍රියාත්මක කරන ආයතන අතර වගවීම දුර්වල වන ආකාරය දක්වන සවිස්තරාත්මක සිද්ධි අධ්‍යයනයක් ලෙස ස්ත්‍රී පුරුෂ සමාජභාවයට පදනම් කරගත් ප්‍රධාන කාර්ය සාධන දර්ශකවලට අදාළ වැඩසටහන සැලකිය හැක. අයවැය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට පෙර මනාව නිර්වචනය කරන ලද රාමු සහ නිසි අධීක්ෂණ යාන්ත්‍රණයන් ක්‍රියාත්මක වන බව සහතික කරමින් හොඳ විශ්ලේෂණයක් සිදු කිරීමේ වැදගත්කම මෙම වාර්තාව මගින් අවධාරණය කෙරේ.

2019-2020 වර්ෂයන්ට සාපේක්ෂව ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රධාන කාර්ය සාධන දර්ශක 12 හි ප්‍රගතිය පසුබෑමකට ලක්ව ඇති බව දෙවන වර්ෂය සඳහා සිදු කරන ලද ඇගයීමේදී හඳුනා ගන්නා ලදි. මෙහිදී පළමු වසරට සාපේක්ෂව ප්‍රධාන කාර්ය සාධක දර්ශකවල සමස්ත ප්‍රගතිය පහත වැටී ඇත. විනිවිදභාවය නොමැතිකම, වගවීම නොමැතිකම සහ ප්‍රධාන කාර්ය සාධක දර්ශක ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලට සහය වීම සඳහා පැහැදිලිව සකස් කරන රාමුවක් නොමැතිකම මෙම වැඩසටහනේ අසාර්ථකත්වයට හේතු වී ඇති බව ප්‍රධාන කාර්ය සාධන දර්ශක සඳහා 2018-2019 සහ 2019-2020 යන දෙවසර තුළ සිදු කරන ලද ඇගයීම ඔස්සේ හෙළි විය