30 / 1 යෝජනාවලිය – වසර හතරක් ගතවී ඇතත් සම්පූර්ණ කර තිබෙන්නේ පොරොන්දු 36න් 6ක් පමණකි.

2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 30-1 යෝජනාවලියට සම අනුග‍්‍රහකත්වය දැක්වූ ශී‍්‍ර ලංකාව ඒ හරහා මානව හිමිකම්, වගවීම සහ සංහිදියාව යන අංශයන් ආවරණය කරමින් පියවර රැසක් කි‍්‍රයාත්මක කිරීමට කැපවන බවට සහතික විය. පසුගිය 20 වැනිදා, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේ දී එම පියවරයන් කි‍්‍රයාත්මක කිරීමෙහි ලා ශී‍්‍ර ලංකාවේ ප‍්‍රගතිය සාකච්ඡාවට ගැනිණ.

ඉෂ්ඨ කිරීමට කැපවන බවට ශී‍්‍ර ලංකා රජය ලබාදුන් පොරොන්දු 36 ක් 30 / 1 යෝජනාවලියේ අඩංගු වන අතර ඒවා තේමා පහක් යටතේ වර්ග කළ හැකිය.ඒවා නම්,

1. සංක‍්‍රාන්තික යුක්තිය සහ සංහිදියාව

2. අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය

3. ආරක්ෂාව සහ යුදහරණය

4. බලය බෙදා ගැනීම

5. අන්තර්ජාතික තලය හා සම්බන්ධවීම වේ.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ශී‍්‍ර ලංකා රජය මෙම පොරොන්දු ඉෂ්ඨ කරන ආකාරය විමසුමට ලක්කරමින් සිටී. මෙම විමසුම යටතේ එක් එක් පොරොන්දුව පහත පරිදි වර්ග කෙරේ,

1. සම්පූර්ණයි

2. අර්ධ ප‍්‍රගතියක්

3. දුර්වල ප‍්‍රගතියක්

4. කිසිදු ප‍්‍රගතියක් නැත

එක් එක් පොරොන්දුව කි‍්‍රයාත්මක කිරීම සදහා රජය ගෙන ඇති පියවර සහ එසේ කි‍්‍රයාත්මක කිරීම සදහා රජයට ඇති සැළසුම් සම්බන්ධයෙන් සිදුකරන ලද ඇගයීමක් මත මෙම වර්ග කිරීම සකස් කර තිබෙන අතර, යෝජනාවලිය කි‍්‍රයාත්මක කිරීමේ ප‍්‍රගතිය අරබයා වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද තිබෙන නවතම විශ්ලේෂණයට අනුව 2019 මාර්තු මාසය වන විට ශී‍්‍ර ලංකා රජය සම්පූර්ණ කර තිබෙන්නේ ඉෂ්ඨ කරන බවට ලබාදුන් පොරොන්දු 36 න්, 6ක් පමණි.

වසර හතරකට පසු – කි‍්‍රයාත්මක කිරීමේ සමස්ත ප‍්‍රගතිය

(2 රූපය – කි‍්‍රයාත්මක කිරීමේ සමස්ත ප‍්‍රගතිය (2016 – 2019)

30 1 යෝජනාවලියට සම අනුග‍්‍රහක්තවය දක්වා වසර හතරක් ගතවී ඇතත්, සංහිදියාව, මානව හිමිකම් සහ සංක‍්‍රාන්තික යුක්තිය වෙනුවෙන් ඉටුකරන බවට ලබාදුන් පොරොන්දු 36 න් ශී‍්‍ර ලංකා රජය ඉටුකර තිබෙන්නේ පොරොන්දු 6 ක් පමණකි.

30 1 යෝජනාවලියට සම අනුග‍්‍රහකත්වය දක්වා වසරක් ඇතුළත ශී‍්‍ර ලංකා රජය පහත පොරොන්දු ඉෂ්ඨ කළේය.

1. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීම සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙසින් අනුමත කිරීම

2. ශී‍්‍ර ලංකා රජය, මහ කොමසාරිස්වරයා සහ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය අතර අඛණ්ඩ සබදතාවයක් පවත්වාගැනීම

3. විශේෂ දූතයන් සමඟ සහයෝගයෙන් කටයුතු  කිරීම

2017 ජනවාරි මාසය වන විට, ශී‍්‍ර ලංකා රජය පත්කර තිබූ කාර්යසාධන බලකායක් සංහිදියා යාන්ත‍්‍රණයන් සම්බන්ධයෙන් දිවයින පුරා සාකච්ඡා පවත්වා යෝජනාවලියේ වූ තවත් පොරොන්දුවක් සම්පූර්ණ කළ තැනට පත් කළේ ය. 2018 වසරේ දී තවත් පොරොන්දු දෙකක්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස නම් කිරීම, අතුරුදහන් වූ තැතැන්තන් සම්බන්ධයෙන් වන කාර්යාලයක් පිහිටුවීම, ඉෂ්ඨ කළේ ය. අතුරුදන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් වන කාර්යාල පණත 2016 අගෝස්තු මස පාර්ලිමෙන්තුවේ දී සම්මත වූ අතර, වසර 2කට පසු එම කාර්යාලය කි‍්‍රයාකාරී තත්ත්වයට පත්විය.

2019 මාර්තු මාසය වන විට සියයට 30ක පොරොන්දුවල ප‍්‍රගතිය (36 න් 11ක) අර්ධ තත්ත්වයේම පවතී.

එවන් එක් පොරොන්දුවක් වන්නේ හානි පූර්ණය සදහා කාර්යාලයක් පිහිටුවීමය. 2018 ඔක්තෝබර් මස හානි පූර්ණය සදහා කාර්යාලයක් පිහිටුවීම වන නීතියක් රජය බලාත්මක කළ අතර, කෙසේවුවත් එම කාර්යාලය තවමත් කි‍්‍රයාකාරී තත්ත්වයට පත්ව නොමැත.

මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය යටතේ වන තවත් පොරොන්දු 7ක් පෙන්වන්නේ අර්ධ ප‍්‍රගතියකි.

ජනාධිපති කොමිසම්වලින් නිකුත් කළ වාර්තා ප‍්‍රසිද්ධ කිරීම, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත විවරණය කිරීම, අහෝසි කිරීම සහ ප‍්‍රතිස්ථාපනය කිරීම, සහ අවස්ථාවක දී දක්නට නොමැති බවට වූ සහතිකයක් අතුරුදන් වූ තැනැත්තන්ගේ පවුල්වල ඥාතීන් වෙත නිකුත් කිරීම, එම පොරොන්දු අතර වේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පණත ප‍්‍රතිස්ථාපනය කිරීමට ගෙන ආ ප‍්‍රති ත‍්‍රස්වාදී පණත, එහි ඇතැම් කාරණා ව්‍යවස්ථානුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුවක් හමුවේ දැනට තවදුරටත් පාර්ලිමේන්තුවේ විවාදයට ලක්වෙමින් පවතී. මේ අතරවාරයේ, රෙජිස්ටාර් ජෙනරාල්වරයාගේ දෙපාර්තමේන්තුව 2018 අපේ‍්‍රල් මාසය වන විට, දක්නට නොමැති බවට සහතිකයක් ලබා දෙන ලෙස ලැබුණු ඉල්ලූම්පත් 827 කින්, 616 කට එම සහතිකපත් නිකුත් කර තිබිණ.

ආරක්ෂාව සහ යුදහරණය යටතේ ලබා දී තිබෙන ඇතැම් පොරොන්දු ඉටුකිරීමෙහි ලා රජය අර්ධ ප‍්‍රගතියක් ලබාගෙන ඇත. උදාහරණයක් ලෙස පසුගිය වසර හතරක කාලය ඇතුළත යුද හමුදාව භාරයේ පැවති ඉඩම් කලින් කලට ඒවායේ සිවිල් අයිතිකරුවන් වෙත නිදහස් කිරීම සිදුව තිබේ. කෙසේවුවත්, 2018 වසරාවසානය වන විටත්, අක්කර 30,187ක ඉඩම් ප‍්‍රමාණයක් (රජයේ ඉඩම් අක්කර 25,946ක් සහ පෞද්ගලික ඉඩම් 4,241ක ප‍්‍රමාණයක්) තවමත් පැවතියේ යුද හමුදාව භාරයේය.

ආසන්න වශයෙන් සියයට 42 ‍ ක පොරොන්දු (36න් 15ක්) ලබා ඇත්තේ දුර්වල ප‍්‍රගතියකි

සත්‍ය, යුක්තිය, සංහිදියාව සහ නැවත සිදුනොවීම පිළිබද කොමිසමක් ඇති කිරීම, අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දිමේ නීතිය ශක්තිමත් කිරීම, සිවිල් කි‍්‍රයාකාරකම්වලට සිදුකෙරෙන හමුදාමය මැදිහත්වීම් අවසන් කිරීම සහ ආරක්ෂක අංශයට අදාළ ප‍්‍රතිසංස්කරණයන් ඒවා අතර වේ. සිවිල් කි‍්‍රයාකාරකම්වලට සිදුකෙරෙන හමුදාමය මැදිහත්වීම් උතුරු හා නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජීවනෝපායන් නැවත ඇති කිරීමට සහ ඔවුන්ගේ ජීවිත නැවත සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට එරෙහිව දිගින් දිගටම බාධා පමුණුවමින් තිබේ. මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටියවුන්ට, සුලූතර ආගමික කොටස්වලට සහ සිවිල් සමාජයට එල්ල කෙරුණු ප‍්‍රහාර පසුපස සිටින්නවුන්ව නීතිය හමුවට ගෙන ඒමේ කටයුතු සම්බන්ධයෙන් ද පවතින්නේ දුර්වල ප‍්‍රගතියකි.

එවන් ඇතැම් සිදුවීම්වලට එල්ලව තිබෙන ආරක්ෂකමය සහ දේශපාලනමය පීඩනයන් ඒවායේ ඉදිරි ප‍්‍රගතියට බාධාවක් බවට පත්ව තිබේ. උදාහරණයක් ලෙස, 2010 වසරේ දී කාටූන් ශීල්පී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීමට අදාළ වැදගත් සාක්කි ආරක්ෂක අංශ ඔවුන් සන්තකයේ තබාගෙන සිටි බවට වාර්තා වී ඇත.

පසුගිය වසර හතරක කාලයේ ඇතැම් පොරොන්දු ඉෂ්ඨ කිරීමට රජය පැහැදිලි ලෙසම අපොහොසත්ව තිබේ. උදාහරණයක් ලෙස, ආගමික සුලූතරයන්ට එරෙහිව එල්ල වන ප‍්‍රහාරයන් මැඩපැවැත්වීම 2017 වසරේ දී දුර්වල ප‍්‍රගතියක ගණයට වැටුණු අතර, එම වසරේ නොවැම්බර් මාසයේ දී ගිං තොට සහ ගාල්ල ප‍්‍රදේශවල දී සිදුවූ මුස්ලිම් විරෝධී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා එයට හේතුව විය. 2018 වසර මුල් භාගයේ දී අම්පාර සහ නුවර දිස්ති‍්‍රක්කවලින් ද අලූතින්ම එවැනි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා විය. පළාත් සභා මැතිවරණය පැවැත්වීම දිගින් දිගටම ප‍්‍රමාදවීම නිසා, පළාත් සභාවල කි‍්‍රයාකාරීත්වය සහතික කිරීම ද, දුර්වල ප‍්‍රගතියක ගණයට වැටිණ.

පොරොන්දු 4ක් ඉටුකිරීමෙහි ලා කිසිදු ප‍්‍රගතියක් දක්නට නැත

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානවවාදී නීතියේ කඩවීම් විමර්ශනය කිරීම සදහා විශේෂ නීති නිළධාරියෙක් සහිතව සහ අන්තර්ජාතික සහභාගීත්වය යටතේ කි‍්‍රයාත්මක කෙරෙන අධිකරණමය යාන්ත‍්‍රණයක් ස්ථාපිත කරන බවට පොරොන්දුවක් ද 30 1 යෝජනාවලියේ අන්තර්ගතය. නමුත් පසුගිය වසර 4 ක පුරාම රජය පවත්වාගත් ස්ථාවරය වූයේ යෝජිත අධිකරණ යාන්ත‍්‍රණයට කිසිසේත්ම විදෙස් විනිසුරුවරුන් ඇතුළත් නොකරන බවය.

අධිකරණ යාන්ත‍්‍රණයක් පිහිටුවීම සදහා වන නෛතික ප‍්‍රතිසංස්කරණයක් සිදුකිරීමට උත්සාහ දැරීමක් නොමැති අතර, එවැනි සැළැස්මක් රජයට තිබෙන බවට ජනතාවට අදහසක් ලබාදෙන තොරතුරක් වුව ද නොමැත. එහි ප‍්‍රතිඵලයක් ලෙස අදාළ පොරොන්දු 3 ඉෂ්ඨ කිරීම පවතින්නේ කිසිදු ප‍්‍රගතියක් නොමැති තත්ත්වයේය. කිසිදු ප‍්‍රගතියක් නොමැති අනෙක් පොරොන්දුව වන්නේ මහජන ආරක්ෂාව පිළිබද ආඥා පණත විවරණය කිරීමයි.

නිගමනය

2019 මාර්තු මාසය වන විට, 30 1 යෝජනාවලියේ අන්තර්ගත මානව හිමිකම්, වගවීම සහ සංහිදියාවට අදාළ පොරොන්දු බහුතරයක් ඉෂ්ඨ කිරීමෙහි ලා ශී‍්‍ර ලංකා රජය ලබා තිබෙන්නේ දුර්වල ප‍්‍රගතියකි. බොහෝමයක් පොරොන්දුවල පැවැති තත්ත්වයේ වෙනසක් පසුගිය වසර පුරාවටම දැකගත නොහැකි වූ අතර, 2018 වසරේ සිට පොරොන්දු 4ක් පවතින්නේ කිසිදු ප‍්‍රගතියක් නොමැති තත්ත්වයේය.

30 1 යෝජනාවලියට සම අනුග‍්‍රාහකත්වය දක්වා වසර හතරක් ගතවී ඇතත් එහි අන්තර්ගත පොරොන්දු 36න් රජය ඉෂ්ඨ කර තිබෙන්නේ පොරොන්දු 6ක් පමණක්ය.

වෙරිටේ රිසර්ච් ආයතනය ආසියාතික  කලාපය වෙනුවෙන් ආර්ථික විද්යාව,  නීතිය, දේශපාලනය, ජනමාධ්‍යය සහ පාරිසරික හා දේශගුණික විපර්යාස යන ක්ෂේත්ර සම්බන්ධ උපායමාර්ගික විශ්ලේෂණ සපයන බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන පෞද්ගලික ආයතනයක් වේ.

වැඩිදුර අදහස් දැනගැනීමට publications@veriteresearch.org යන ඊමේල් ලිපිනය හරහා විමසීම් කරන්න.